Posts

Showing posts from December, 2021

සයුරේ ගැඹුරේ...

Image
 අදත්, වෙනදා වාගෙම විසල්ම රහස් හංගාගෙන,  තරු යාය දෙස,  ඔබත් ... බලා සිටිනවා ඇති,  නේද ...... එසේ නොනිදන දින , නැතුවාම නොවේ, ඔබටත් , මටත් ..... ආදරය කියන්නේ, හිමි කරගැනීමම නෙවෙයි..... හිමි නොවන බව දැන දැනම, පරිත්‍යාග කිරීම ම තමයි , ආදරය කියන්නේ.... ඉතින් , ඔබේ ආදරයත්, හදින් ගලා එන පිණි බිඳුවක් නම්, බොඳ කරන්නට එපා,  කිසිම තරු එළියක්....  ඒ තරු වලටත්, සඳ දියෙහි නැහැවෙන්නට ඉඩ හරින්න.... ඔබ දන්නෙ නැති වුණත් , ගලා යන සඳ එළිය , තරු වලට පෙම් බඳිනවා, හැමදාමත්....  ප්‍රේමයට කොයින්ද, සම්මත, අසම්මත බවක්.....  ප්‍රේමය කියන්නේම සම්මත දෙයක්මයි.... ඒත්, පවුලක,  අසීමිත බැඳීම් තුළම , ඔබ මංමුළා කරවන සැකයක් සැඟව තිබුණොත්,  එයත් තෙරක් නොපෙනෙන ආදරය නිසාමයි.....  හැබැයි, සැකයත් හරියට අතුරක් වගේ, ඉන් පෙරුණු රා දිය ,  නිදි වරන  රැයක දෙතොලට  ලෝ දියක්...... කොහොම නමුත් ,  ඔබත් සිත් දරන්න, හඳ තරුවලට පෙම් බැන්ඳත්,  සඳ දිලෙන්නේ හිරු රැසින් නිසා බව....  සඳුත්, හිරුට පෙම් බඳින්නේ, එළිය ලබා ගන්න තුරු විතරක් වුණාට,  ප්‍රේමය කියන්නේ...

ගඟක් සේ ඔබ...

Image
 ගඟක් සේ ඔබ ගීතය .......  ඔබේ මොළකැටි අත්ලෙහි, මැටි පිඬ මා නම්, රිසි ලෙස හනා යහමින්,  මීට වඩා විසිතුරු කොට, ඔබ, මා තනන බව මම දන්නවා....  ඔබට නොකීවාට, ඔහුත් ඒ බව දන්නවා ඇති.... නේද ... මක්නිසාද යත්? කියලා ඔබ මගෙන් ඇහුවොත්,  මගේ පිළිතුරම, සේකරයන් වරෙක ලියලා තියෙනවා, මෙන්න මෙහෙම ..... "ඒ මගේ කුටියට, ඔබ ඇවිදින්,  මකුළු දැල් කඩා,බිම අතුගා... සවස වැඩ ඇරී, අවුල් හිසින් මා එන විට,  සමන් මල් වියන් යට, වැල්ල මත, සඳ එළිය රොදක් මෙන්ම,  සිත ඉන් පහන් විය...."   ඒ තමයි ගැහැණිය... සිත් පහන් කරන්නටත්, සිත් දවාලන්නටත්, ඈට පුළුවන් .....  ගැඹුරු ළය මත,  ඕ ඔබ සනහාලන කල, කෘතඤ පූර්වක ආදරයකින්ම බලන්න ඈ දෙස, ඔබත්....  ඈත් බලාවි ඔබ දෙස.... එවිට.... තියෙනවා ද, ඔබට,  ඒ සා විසල් ගැඹුරක්,  ගිලී ඉන්නට ඇය හැර.....  ඇගේ සුසුමත්, ඔබට කුසුමක් ..... අන්න ඒ නිසාම වෙන්න ඇති, ඔබත් ඇයට , මේ තරම්ම ආදරේ.....  ගයන්නේ දීපිකා ප්‍රියදර්ශනී සමඟින්, කරුණාරත්න දිවුලගනේ......

මෙහෙව් රටේ රංචාගොඩ

Image
 මෙහෙව් රටේ ගීතය....  "මෙහෙව් රටේ,  රංචාගොඩ ඉපදීලා,  රුහුණු රටට මා දීලා උලව්වේ, කහට පොතු කකා කට, හම යන්නාය... හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ...." ආලේ නැති වුණත් ඉතින් ,  දෙවියන් ගෙන්, වාහේ රැක දෙන්ට කියලා ඉල්ලන්නේ, රංචාගොඩ ළමයා විතරක් ම නෙමෙයි ....  ඔබටත් හිතෙනවා ඇති, ආලෙ නම් කිම වෙද, වාහෙ මහ මෙරක් නිසා කියලා.....  කොහොම නමුත් අප්‍රදාන මානව චර්‍යා ප්‍රවාහයකට ගැතිවූ ගති සොබාවන් ඉරිතලා බිඳ වැටෙන , ඇතුළු හදෙහි කම්පනය , ගලා යන කාලය තුළ විදාරණය කරන්නට ත් ඉතින්,  අහිමි වූ ආලයත් හේතු වෙනවා ඇති.....  සමහර වෙලාවට, කදුළැල් එක්කම ,  මිනිස්සු කියනවා, සී පද,....  ඒවා දුකට කියන කවි සීපද ....  එතකොට නම් , ඉතින්, දුර ඈතක පෙනෙන නොපෙනෙන දේත්, කවියට එකතු වෙනව.....  හදේ දුකටත් එක්කම.... හැබැයි ඒ කවි සුවඳයි......  ලියන කවියයි , හිතන කවියයි, දෙකක්...නමුත් , ඔබත් මමත් හිතන්නේ,  කලු වැහි කලුව ඇරිලා, කල හොඳ වී, රන් සඳ , නිල් අහසෙ හෙට පායයි කියලා.... කොහොම නමුත් අපිත් බලා ඉන්නෙ, අලුත් හෙටක් එනතුරු..... ඔබටත් රස දැනෙනවා ඇති, ඒ සුවඳ කැවුණු වච...

දරා දිරි වඩා...

Image
  දරා දිරි වඩා ගීතය.... දවසක් , රෑ අහසක, තරු ලකුණක් , මෙහෙම සටහන් කළා ලූ....  " එකම රැයෙකින්, අසිරියෙන් මෙන්,  වහා මල් විකසිත නොවෙයි,  ගසත් , පොළොවත්, බොහෝ දුක් විඳ, අසිරිමත් මල් බිහි කරයි...." රත්න ශ්‍රී විජේසිංහයන්, එහෙම ලියද්දී,  මට මතක් වෙනවා, ඔබට වාගෙම මටත්,  දෙවියන් දුන් ත්‍යාගයක් ගැන....  ලෝකයම හද ළඟින් ආදරෙන් තියාගෙන ,  සිනහවෙන් කතාවෙන් ළබැඳි බව කියාදෙන ,  ඔබේත් මගේත් සිත් , ජීවයෙන් තෙමාලන,  ඒ ආදරයේ උල්පත තමයි අප ලද , මිහිරිතම දායාදය  ......  ඒ තමයි, මහපොළොවේ රිද්මය හදුනාගත්, එකම ගැහැණිය සහ මිනිසා....  දා බිදු, ලේ රුහිරෙන් ,  මිහිකතේ, සෞන්දර්යය ගීතවත් කළ චිත්‍රය නම් ඔවුන්.....  ඔබේත් මගේත්, ලෝකයම ඒ වර්ණයන්ගෙන් නිර්මිතයි......  ආරාධනා ස්වර අතරින් ගයන්නේ ,  ටී.එම්. ජයරත්නයන්

ඔබ සඳක් මැයි...

Image
  ඔබ සඳක් මැයි ගීතය ...... ඈත තරු පන්තියක, මේ විසල් අහස් කුස, වළාවන්ගෙන් බරව, බලා ඉන්නේ, සඳ වඩින තුරු.... රැයක නිල් අහස යට, තරු උයන දිලුනාට,  තරුවකට පුළුවන් ද රෑ අහස දල්වන්න??....  තරුවකට බැරි වුණත් , රෑ අහස දල්වන්න, ඔබට පුළුවන් , මගේ සිතම පහන් කරන්නට.... නුඹේ ඇතුළු හදින් පෙරී ඇදෙන සන්තෝසයෙන්,  බිංදු මාත්‍රයක් , මට සිනාසෙන්න අමතක වූ මොහොතක දෙන්නට, ඔබට පුළුවන් .....  සිනා කාසියක් ,  ඔබට ත් ලැබුණු දිනක, එය දෝතින්ම ගෙන, හුදෙකලා තැනක නැවතී,  එය ඔබ පැළඳ ගන්නා බව මම දන්නවා.... එවිට, මේ අපූරු නිසංසල රාත්‍රියත්,  සුසර වී වැයෙයි....  යළි යළිත් .....   සිනා මල් පැළැඳ, එන්න, ඔහුත් එක්කම,  අහස් වියන යටට......  ආරාධනා වේ මීළඟට ගයන්නේ,  නිරෝෂා විරාජිනී

හඳ පානේ වැලි තලා...

Image
 හඳ පානේ වැලි තලා ගීතය .....  තාරකා මල් ඉහෙන, නිසංසල රාත්‍රියේ, ජීවිත ගඟ අද්දර,  ඔබ ,  ගිමන් හරිනවා ඇති... කිරි සුවඳ මැද.... අවර ගිර අහසේ වූ රන්වන් පැහැය, තෙලිතුඩෙහි තවරා, කුමරතුඟුවෝ, දවසේ සොඳුරතම සිත්තම, රෑ අහසෙ සිත්තම් කළේ, ඒ සුන්දරත්වය ඔබටත් විදිනට අවැසි නිසාමයි...... ඔබට කොයින්ද, පුංචි පුතුට තරම්,  සුවබර සිහිනයක,  සඳ දියෙහි නැහැවී, නිදන්නට වරම්.... ඒත්,  සඳු එළිය, දෝතටම පෙරා අරැගෙන ,  මිහිරි මව් කිරි ලෙසින්,  ඔබටත්, මටත්,  සඳ වත පොවාලනවා.....  ඉස්සර වගෙම , අදටත් ....  ඒ සුවඳ කැටිවුනු ,  මිහිරියාවක නැළැවෙන්නට.... ඔබටත් සිත් වනවා ඇති..... ආරාධනා මීළඟට හැඩ කරන්නේ, ආචාර්‍ය , පණ්ඩිත් , ඩබ්ලිව් .ඩී. අමරදේවයන්.....

බුදු තාත්තෙ බොන්න එපා..

Image
 බුදු තාත්තෙ බොන්න එපා ගීතය ... අප ජීවත් වෙන්නේ,  අපිට අපිවම, අහිමි වූ සමාජයක....  නිය ගෙවෙන තුරු,  පහුරු ගාමින් දිවි පොළොව,  අහුලාගත් කවියකට පුළුවන් , අපිට අහිමි වූ අපව, යළිත් සොයා දෙන්නට....  නමුත්, පායා එන  කවියේ, අරුත් නොදන්නා දෑතකට පුළුවන් ,  මුතු අකුරින් ලස්සනට ලියා තිබෙන කවි කොළය , ඉරා දමන්නට....  දුකම රත් කරමින්, වළඳන, ඔබේත් මගේත්  දෑඟිලි අල්ලා ගත් කැකුළු පොඩි,  ලස්සන ට ලියූ කවි, මකා දමන්නේ, ඔබම වන්නට ත් පුළුවන් ..... මේ විසල් ලොව අයිති, ඔබට පමණක් නොවේ,  ජනේලෙන් , අරුණු රැස් ගලා එන්නේ,  හෙටට පිපෙන මල් වෙනුවෙන් ....  ඒ නිසා, ඉරා දමන්නට එපා, කැකුළු කවි සිත්...  කෙදිනකවත් ....  එක් දිනක් පමණක් නොවේ,  සෑම දිනක්ම ඔවුනට අයිතියි....  පිපෙන්නට දෙන්න,  ඒ කැකුළු වලටත් ,  හෙට ලොව සුවඳවත් කරන්නට,  ඔබේ ත් මගේත්....  ආරාධනා ස්වර අතරට, හඬ මුසු කරන්නේ,  විශාරද , නන්දා මාලනියන්.....