❤🌿හදවත නැති මිනිසා මම
ලිඛිත බසින් යමක් ලිවීමත් ඇතැම් විට සුන්දරයැ යි, මට හැඟුණි. ඉතින් එබැවින් ලියමි. මේ ලිපිය දිගින් මදක් වැඩි වූවා යැයි කියා හෝ මේ ලිපිය රසවත් නැතැයි කියා හෝ මෙය කියවන පිරිස අතර සිටින ඔබ නඟන මැසිවිලි මට නොඇසේ...මන්ද මෙය මා ලියනුයේ ඔබට නොව මට බැවිනි. ලිවූයේ මා නම්, එය ලිවූයේ මට නම්, මා නොවන ඔබට මෙය කෙසේ දැනුණ ද, මට කම් නැත. " න නාදේන විනා ගීතං න නාදේන විනා ස්වරාඞ න නාදේන විනා නෘත්‍යං තස්මාන්නාදාත්මකං ජගත්'' මහැඳුරු සමන්චන්ද්‍ර රණසිංහයන්ගේ ‘සකුදියවර’ කෘතියෙන් හමු වූ මේ සංස්කෘත කවියා පවසන්නේ නාදයෙන් තොර ගීතයක් නැති බව ය. නාදයෙන් තොර ස්වර ද නැති බව ය. නාදයෙන් තොර නෘත්‍යයක් ද නැති බව ය. එහෙයින් මුළු ලොව ම නාදාත්මක බව ය.ලෝකය අප්‍රමාණ වූ සුන්දර නාදාවලීන්ගෙන් සමන්විත සුවිසල් සංගීත භාණ්ඩයක් නොවේ ද? එහෙත් ලෝකයෙන් වැයෙන්නාවූ ඒ සියල් අව්‍යාජ නාද, සංගීත භාණ්ඩයකට ලඝුකොට ගත හැකි නොහී. කෙසේ වුව මේ සියල් සපිරි ලෝකය විඳීමට හදවතක් අවැසිය.... ළයක් ඇති ඇසකින් ලොව මනරම්ව පෙනෙයි. හදක් ඇති සිතකට ලොව මනරම්ව දැනෙයි.මේ අකුරු ගෙන එකිනෙක අමුණන මොහොතේ මම සිතමි, හදවත ඇත්තේ කොහි විය හැකිද ?ළය යනු කුමක්...