වෙලාවක් නෑ !

 

ඇයි මේ තරම් ලෝකය විසල් ?..... මේ ලොව මා ලද සියල්ලට වඩා මට වටින එකම එක දෙයක් පමණක් ඇත්තේය. ඒ, මා හට සේකරයන් ව හඳුනාගන්නට ලැබීම පමණි. සේකරයන් ගෙ කවි තුළ

සම්පූර්ණයෙන්ම මම ගැන ලියවූයේ කෙසේද යැයි තවම මට නොවැටහේ......

 "ඔහු කොහොමද මාව දන්නෙ....?'' 

සේකර මම නෙමෙයි . මම සේකරත් නෙමෙයි . ඒත් මට හැමදාම සේකරගෙ කවි ඇතුළෙ මාව පෙනෙනවා....එදත්, අදත්, සමහර විට හෙටත්.... සේකර හරි පුදුම මනුස්සයෙක් ! මිනිස්සු අතරෙ අදටත් මම කැමතිම හදවත තිබ්බෙ සේකරට...ඒ හදවත ඇතුළෙ හිටියෙ මම....සේකර මිය ගිහින් දැන් ගොඩක් කල්. ඒත් මං ඇතුළෙ සේකර තාම ජීවත් වෙනවා...සේකර කියන්නෙත් මම කියන්නෙත් දෙන්නෙක්. ඒත් ඒ කවි තුළ ඉන්න අපි එකයි...! සේකරයන් තුළ , මම මා දකිමි....✨ මේ ලොව යම් කිසිවෙකු මා හද හැඳිනුවේ නම්, ඒ සේකරයන් පමණි............ඒ කවි තුළ මම හිඳිමි....🌬️මම නිවෙමි.....

හිතුවටත් වඩා විඩාබර ලෝකයක,මිනිසුන් සමඟ කතා කරන්නට අනෙකාට වෙලාවක් නැති ලෝකයක, සේකර පමණක් හෝ මා වෙනුවෙන් සිටීම මට සතුටකි. ලෝකයේ අපි වටා ඇති සංකල්ප සම්මුතින් සියල්ල පසෙකලා, නිරුවත් ඇසකින් ලෝකය විඳින කල අපට ලොව පෙනෙන්නේ කුඩා ළදරුවකුගේ මනැසින් නොවෙද.....?එවිට ලෝකය කෙතරම් සුන්දරව පෙනේද ?

සේකර මෙසේ ලියයි.

" වෙලේ නියර මත කුරුලු පිහාටුව,

අහසට නැඟ යළි පොළොවට ගිලිහුණු ,

කෙනෙකුගෙ හදවත නටබුන් වී ගිය,

බලාපොරොත්තුව සිහිකරවයි මට ''..... 

ලංකාවේ පාසල් පද්ධතිය තුළ මා දකිනා දුර්වලතා අතරින් ප්‍රධානතම කරුණ වන්නේ, ගුරුවරයාට අධික වැඩ කොටසක් පැවරී තිබීමයි.ලිඛිත බසින් ලිවීම පසෙකලා, කථික බසින් ලියමි. මේ මා ඇසූ කතාවක්....

"ඇත්තටම ගත්තොත්, ළමයි එක්ක නිදහසේ කතා කරන්න වෙලාවක් තියෙන ගුරුවරු දැන් ඉස්කෝල වල නෑ. ඒක ගොඩාක් ලොකු කණගාටුදායක දෙයක්. ටීචර්ලාට සර්ලාට තියෙන්නෙ පුදුමාකාර වැඩ කන්දක්. නියමිත දිනට කලින් වාර විභාග උත්තර පත්‍ර බලල දෙන්න පුදුම විදිහට ගුරුවරු මහන්සි වෙනවා. ඒක හරි අමාරු දෙයක්. ඒ අස්සෙ කලාප තරඟයි, අරවයි මේවයි, උත්සවයි, පුදුමාකාර වැඩ ගොඩාක් තියෙනවා ඇත්තටම පෙනෙන ප්‍රමාණයට වඩා ගුරුවරුන් ට. හැබැයි ඒකෙන් වෙන්නෙ ළමයි ට ගුරුවරයා සමග නිදහසේ කතා කරන්න තියෙන කාලෙ නැති වෙන එක. ගුරුවරයාගෙන් ළමයි බලාපොරොත්තු වෙන්නෙ අමතර වැඩ කරන එකයි, තරඟ වලට පුරුදු වෙන එකයි, විෂය උගන්වන එකයි, පේපර් බලන එකයි විතරක් නෙමෙයි . ළමයි හරි ආසයි ඇත්තටම ටීච හරි සර් හරි තම තමන් එක්ක නිදහසේ කතා කරනවා නම්....

ඒත් දැන් ගොඩාක් ඉස්කෝල වල , පන්ති කාමර ඇතුළෙ එහෙම තත්වයක් නෑ . ගුරුවරයා එනව, උගන්වනවා , ආපහු යනව. ඒ හැර ළමයි එක්ක කතා කරන්න ගුරුවරුන්ට වෙලාවක් නෑ. ළමයි ව තේරුම් ගන්න ගුරුවරුන්ට වෙලාවක් නෑ. ළමයි ව අහගෙන ඉන්න වෙලාවක් නෑ. වෙලාවකට හිතෙනවා මේක හරි පුදුම ලෝකයක් නෙ කියල. ඉස්කෝලේ යන්න ආස හිතෙන්නෙ කොහොමද , ටීච ට හරි සර්ට හරි අපි එක්ක කතා කරන්න වෙලාවක් නැති වුණාම?...... අනික ගෙදර ආවට පස්සෙවත් ගොඩාක් මිස්ලට එහෙම වෙලාවක් නෑ . ඉස්කෝලේ වැඩ ටික ඔක්කොම ගෙදර ගේන්න වෙනවා... ටීච කෙනෙක්ට කෝල් එකක් ගන්නවත් ළමයිට විදිහක් නෑ. ගුරුවරු ඒ තරම් වැඩ ගොඩක ඉන්නෙ. සමාන්‍ය විදිහට ගත්තොත් පුදුමාකාර " busy ''...... !

දැන් ඉස්සර වගේ නෙමෙයි. කොච්චර වුවමනා වුණත් , කතා කරන්න තියෙන ඔක්කොම හිතේ තියාගෙන 1.30 වෙනකල් ඉඳල ගෙදර ඇවිත්, ඒ ටික ඔක්කොම ආයෙ හිතේ තියාගෙන ඉඳලා, පහුවදාත් ඉස්කෝලේ ගිහින් , එදාටත් වෙලාවක් නැති වුණාම , අන්තිමට අරටික අමතක කරල දාන්න තමයි ළමයිට වෙලා තියෙන්නෙ. ඉස්සර කාලෙ වගේ ෆ්‍රී පීරියඩ් හෙවත් නිදහස් කාලච්ඡේදයක් ළමයිට නැති තරම්. එහෙම එකක් තිබ්බත්, ඒකෙත් මොනාහරි විෂයයක් උගන්වන එකයි වෙන්නෙ. ඒ හැර, ළමයි එක්ක එහෙම නිදහසේ කතා කර කර ඉන්න දැන් ඉන්න ගුරුවරු කැමති නැතුවවද්ද කියලත් හිතෙනවා වෙලාවකට......ඇත්තටම ළමයිට වඩා වැඩ තියෙන්නෙ දැන් ඉන්න ටීචර්ලා, සර්ලාට..... 

මම එක ටීච කෙනෙක් එක්ක කතා කරන්න වෙලාවක් හම්බවෙනකල් බලන් හිටියා සෑහෙන කාලයක්!...... ඒත් අන්තිමට මම ඒක අත් හැරල දැම්මා. මොකද, ඒක කවදාවත් නොවෙන දෙයක් නිසා..... ළමයින්ගෙ හදවත හරි සියුම්. ඉක්මනින් රිදෙනවා, දුක හිතෙනවා. සමාන්‍යයෙන්, ගෙදරින් පස්සෙ ළමයි ආදරේ කරන එකම තැන වෙන්නෙ, ඉස්කෝලේ. ඉතින් අම්මයි තාත්තයි ළඟට ආදරේ කරන්නෙ ළමයි ගුරුවරුන්ට. නමුත් එහෙම වෙන ගුරුවරුන්ට ළමයි එක්ක කතා කරන්න වෙලාවක් නෑ කියල කියන්නෙ , ඇත්තටම ඒක දුක හිතෙන දෙයක් නෙමෙයි ද?''.....

මේ තරම් වැඩ ගොඩාක් එක්ක මහන්සි වෙන ගුරුවරු ඇත්තටම පව්.....වැඩ ගොඩාක් තියෙනවා කියල තේරෙනවා....ඒත් ළමයින්ගෙ පැත්තෙන්, ළමයිත් පව් නෙ.? දෙපැත්තක් තියෙනවා මේ තත්ත්වය තුළ. ''

කෙසේ නමුත් , ඉතින් එබැවින්, සේකරයන්, වැනි අය බිහි වූයේ වාසනාවකට යැයි සිතෙයි. මන්ද, ඔහුගේ කවි වල අප සිටිනා කල්හි, කතා කරන්න ට කවුරු සිටියත් නැතත්, කම් නැති හෙයිනි. නමුත්, ඉහත සිදුවීම් අනුව හදට දුකක් නැතුවාම නොවේ...... 

"

බෙල්ලාගේ දුක් එක්තැන් වීමෙන්,

මුතුවක හැඩයෙන් කැටි ගැසෙනා මෙන්,

මගේ වේදනා මිහිරි වෙවී,

ගීයක හැඩයෙන් ගලා බසී.........''

සේකරයන් ගේ ඒ කවිය අද මටද, හෙට ඔබට ද, ගැළපෙනු ඇත......

" මා ලිව් කවි, මට වාගෙම, ඔබ හැමටත් පොදු වනු ඇත. 

සබඳ එවිට මගෙ කවියේ, මා නොසොයා, ඔබ දකින්න....'' !

                                 -සක්වා ලිහිණි


ඔව්, අද මම දකිමි ඒ කවි තුළ මම.  

"මොනවා වුණත් ලොකු වෙලා හදන්න ඕනෙ ලස්සන ඉස්කෝලයක්. ළමයිට ගැළපෙන, ළමයි එක්ක කතා කරන්න වෙලාව තියෙන, නිදහස තියෙන ලස්සන තැනක.... නැත්නම් වෙන්න ඕනෙ හොඳ ටීච කෙනෙක් හෝ මැඩම් කෙනෙක්, ළමයිව දැනෙන..! " 

අන්තිමට අර කතාව කියපු කෙනාට එහෙම හිතුණා ලු.... 


Se.ka. 🍂

23/ 7/ 19 




Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !