මම මා ලදිමි !...

 

"අද හරි ලස්සන අඟහරුවාදා දවසක්.ඒත් අද හරි වැස්ස.අද මම ඉස්කෝලේ යද්දී කුඩේ ගෙනිච්චෙත් නෑ. ඒ නිසා දවසෙම එහාට මෙහාට යද්දීයි, ඉස්කෝලේ ඇරිලා එනකොටයි හොඳටම මාව තෙමුණා. තෙමෙන එකට නම් මම තාම ආසයි...ඒත් දවස පුරා ටිකෙන් ටික වැටෙන චුරු චුරු වැස්ස එක වෙලාවකට හරි කරදරයක් වගේ.කොහොම වුණත් අද දවස ලස්සන වුණේ නම් වැස්ස නිසා නෙමෙයි....

මම, "මම'' වුණ නිසා.''

ඇය මේ සියල්ල සිතමින් ඇයටම උණුවෙන් කිරි කෝපි එකක් ද, අම්මාට කිරි තේ ද සාදමින් සිටියි. වෙනදාට සවසට තේ සාදන්නේ ඇගේ අම්මා ය. අද තාත්තාද සවස සිටියේ නැත. අම්මා එනවිටත් වැස්ස යාන්තමින් තිබුණි. අම්මාට වැස්සත් සමඟ මඳක් අසනීප ගතියක් මතුව ඇති සෙයකි. උගුර රිදෙයි, ඇඟ රස්නෙයි. ඉතින් අම්මාටත් එක්කම ඈ  තේ හැදුවාය. 

"අම්මා තේ බීලා,  හෝදගෙන ඇවිත් චුට්ටක් නිදා ගන්න.''

ඒ අතරතුර ඇය ඉතා පිළිවෙළට කුස්සිය අස් කර තිබුණි. භාජන සෝදා, කෑම පෙට්ටි සෝදා, කුස්සිය අතුගා, සියල්ල පිළිවෙළ කර තිබුණි.ඉන්පසු ඈගේ ප්‍රියතම කාර්‍යය වන්නේ කාමරය අස් කිරීමයි.වෙනදාට ඈ පිළිවෙළ කරන්නේ කාමරය පමණි. එහෙත් අද අම්මාට අසනීප නිසා සම්පූර්ණයෙන් ගෙදර අස් කිරීමට ඈට සිදුවිය. ගේ අතුගා, අස් කර, බඩු පිළිවෙලට තබා, මිදුලද අතුගා, සපත්තු සෝදා , වැහි වතුර රැඳි කුඩ ද බඳුනට දමා, සියල්ල සිදු කරන විට ඇගේ ඔරලෝසුවේ ප.ව. 7.30 වැදුණි. අම්මා ගෙදර ආවේ 6 ට බැව් ඈට මතකය. 

" අම්මෝ මම මෙච්චර ඉක්මනින් ගොඩාක් ඒව කරල නෙ. දැන් නම් ඔක්කොම හරි. දැන් ආපහු ඇඟ හෝදගෙන මගේ වැඩ පටන් ගන්න ඕනේ.

"අම්මේ, අපි රෑට ආප්ප ඕඩර් කරමුද ?" 

රෑ කෑමට ආප්ප ලැබුණි. අපි රාත්‍රී ආහාරය ගත්තේ දහය පමණ වූ පසුය. ඒ තාත්තා එනතුරු සිටි බැවිනි. රාත්‍රී 12 පමණ වනතුරු යළිත් පාඩම් වැඩ කළ මම අද දවස ගැන ආවර්ජනය කළෙමි. ඇත්තටම ඇයි අද ලස්සන අඟහරුවාදාවක් වුණේ ? ''

ඇය ලියයි....

" ඊයෙ මම කියෙව්වා රබීන්ද්‍රනාථ තාකූරයන්ගේ " මා මියැදි කල'' කවි පන්තිය. ( when I'm dead ) ඒක බැලුවට පස්සේ මට හිතුණා ඒ ඔක්කොම ඇත්ත තමයි කියල......



අපි ගත කරන පුංචි පුංචි මිනිත්තු ලස්සන කරගන්න ඕනේ නේද කියල මට ඊයෙ හිතුණා. මම හිතුවා ඒක අද ඉඳලම පටන් ගන්න. මම හැමදාම කොහොමත් එහෙම තමයි හිටියෙ. පුංචි පුංචි දේවල් වලට මම හැමදාම ආස වුණා, ඒවට මම වටිනාකමක් දුන්නා. ඒත් මේ ලෝකෙ ඉන්න සමහර හරි අමුතු පුද්ගල චරිත, ඒ පුංචි පුංචි දේවල් කොලයක් කෑලි කෑලි වලට ඉරනවා වගේ ඉරලා දාපු හැටි මට හොඳ ට මතකයි....

එදායින් පස්සේ මට මාව අහිමි වුණ රාමුගත ලෝකයක් ඇතුළෙ ජීවත් වෙන්න වුණා. ඒක හරියට දම්වැල් දාපු හිරගෙයක් වගේ....මට පුදුම සිද්ධියක් මතක් වුණා. මේ ළඟඳි දවසක අපේ අලුත් සංගීත ගුරුතුමී එක්ක ඉස්කෝලේ ඇරිලා සංගීත කාමරේ දොර වහද්දී, ටීච කිව්වා, 

" අම්මෝ මේ යකඩ දම්වැල් හිර ගෙවල් වගේ මම නම් ආසම නෑ මේ යකඩ වලට කියල '' මට තාම ඒ වචන ටික තියෙන දෙබස ඇහෙනවා ඇහෙනවා වගේ.

ඒ වෙලාවේ මම යන්තමින් හිනා වුණා විතරයි.....ඒත් ඇත්තටම කිව්වොත් මටත් ඒ යකඩ සද්දේ සහ හිරගෙවල් වගේ වචන මතක් වෙද්දීයි, ඇහෙද්දියි, අර මම අමතක කරන්න හදන ඉස්සර කාලෙ මට මතක් වෙනවා....ඒත් ඒක මට එච්චරටම ගාණකුත් නෑ හැබැයි''.......

ඇය දිගටම ලියන්නීය.

මෙය කියවන කෙනෙකුට සිතෙනු ඇත්තේ ඈ පෙර දිනෙක සිපිරිගෙයක සිටින්නට ඇතැයි කියාය. වැලිකඩ හෝ මහර හෝ බෝගම්බර හෝ කොහේ හෝ කියා ඔබට සිතෙයි. එහෙත් එය එසේ නොවේ. ඈ අදහස් කරන්නාවූ සිරය අපරාධකරුවන් පිරි සිපිරිගෙයක් නොවේ. එය නිදහස් චින්තකයන් සිරකොට තබන සිපිරිගෙයකි. ඇයට එසේ සිතෙයි.

මාගේ සිහියට නැඟෙනුයේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ අකීකරු පුත්‍රයෙකුගේ ලෝකයයි......


" ඉතින් කොහොමහරි   
ඊයෙ අර when I am dead කවි ටික බැලුවට පස්සේ, මම ආයේ අලුත් වුණා වගේ දැනුණා....' මම වෙනවා මම ' මට ඇත්තටම එහෙම හිතුණා. මම මා නොවී හිනා වෙන්න, කතා කරන්න, හැසිරෙන්න, ඇවිදින්න, හිටගන්න, කන්න බොන්න, මේ හැමදේම කළා හොඳටම ඇති! දැන්වත් මම මම වෙන්න ඕනෙ. මම කැමති දෙයක් කරන්න ඕනේ... මම කැමති විදිහට හිනා වෙන්න, කතා කරන්න, සෙල්ලම් කරන්න, දුවන්න, කෑ ගහන්න, කෑම කන්න, ඇවිදින්න, නිදහසේ ඉන්න, වාඩිවෙන්න, හිටගන්න, හිතන්න මේ ඔක්කොම...... මේ හැමදේම මේ අන්තිම මාස ටිකේ හරි මම වෙලා ඉන්න ඕනෙ කියල මට හිතුණා. 
ඕනෙ කෙනෙක් ඕනෑ දෙයක් හිතා ගනීයි. කමක් නෑ . "මේ මම '' මේ ටිකේවත් මම මම නොවුණොත්, කවදටද මම, " මම '' වෙන්නෙ ?

අද උදේ මම වෑන් එකේ ඉස්කෝලේ යනකල් මෙහෙම හිත හිතයි ගියේ. අද ඉස්කෝලේ ගියාට අද එච්චර ලොකූවටම වැඩ තිබ්බ දවසක් නෙමෙයි නිසා මට අද සංගීත කාමරේට යන්න ඕනෑ තරම් වෙලාව තිබුණා. ඒත් මට යන්න වුණේ නෑ,
යාලුවෝ ප්‍රශ්න අහන නිසා. 'ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා හොඳයි පන්තියටම වෙලා වැඩක් කරගන්න එක.' මට එහෙමත් හිතුණා බැරිම තැන.....
ඇත්තටම මට මං වෙන්න සෑහෙන අමාරුයි නෙ...මට විතරක් නෙමෙයි අනෙක් අයටත් එහෙම ඇති. බාහිර ලෝකය නිසා, සමහර වෙලාවට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අපිට අපිවම අහිමි වුණ ලෝකයක.....
ඒත් අද මම අර වැස්සෙම සංගීත කාමරේට ඇවිදගෙන යනකොට, හරියටම අර තණකොළ බිස්ස තියෙන මඩ ගොඩේදි, මට මම අඳුරන ටීච කෙනෙක්ව හම්බවුණා.

" කාව හම්බෙන්න ද මෙහෙ යන්නෙ ? '' 

අනේ ඉතින් ඒ ප්‍රශ්නෙට මම මොකක්ද දෙන උත්තරේ? කාවවත් හම්බෙන්න නෙමෙයි එහෙ යන්නෙ කියල දන්නෙ මම විතරනෙ..... 
" නෑ ටීච මම මේ නිකන් චුට්ටක් ඇවිදගෙන ගියා ටීච.'' 

" ම්ම්ම්.....හා හා 
ඊළඟ පීරියඩ් දෙක මට නේද පුතේ '' ?.

" ඔව් ටීච මම එන්නම් ටීච ....'' 

ඊටපස්සෙ ඉතින් මම ආයෙ පඩිපෙළ නැග්ගෙත් නැතුවම, ආපහු හැරිලා පිට්ටනිය දිගේම ගියා මඩ වළවල් උඩින්... 
ඇත්තටම ආපහු කවුරු හරි ඇහුවොත් එහෙම ඇයි මම සංගීත කාමරේට යන්නෙ කියල ඇත්තටම දිගම දිගම දිග ඇත්තම කතාව කියනවා කියල මම හිතුවා...... 
එතකොට හැබැයි පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ පොතේ තියෙන කවිය වෙනස් කරලා මටත් කියන්න වෙයි වගේ දෝ කියලත් හිතුණා. 

" සොක්‍රටීස් මෙන් ප්‍රශ්න නගන්නට ඉඩ දියෝ, 
ගඟක් මෙන් ගලාගෙන යන්ට මට ඉඩ දියෝ.....
ඇත්තටම මට මම වෙන්ට ඉඩ දියෝ....''

අන්තිම පදයට මම ආසයි.....ඉතින්
කොහොම වුණත් 
අද පන්තියෙ ඉන්නකොට හුඟක් වහින වෙලාවෙ ඇත්තටම මට හිතුණා ගිහින් කෝපි එකක් බීලා එන්න. 
මම කෝපි එකක් බිව්වා..එතකොට මට මතක් වුණා මට අද දවසටම මම ආසම තැනට යන්න වුණේ නැතත් ඒ ටීචටත් කෝපි එකක් ගෙනිහින් දෙන්න තිබ්බා නම් හොඳයි කියලා....ඉතින් මම කෝපි එකකුත් අරන් හෙමින් හෙමින් හැලෙන්නෙ නැති වෙන්න හීනි වැහිපොද අතරෙන්ම කුඩේකුත් නැතුවම එහෙ ගියා... ටීච හිටියෙ නැති නිසා මම කෝපි එක මේසෙ උඩින් තියලා ආවා. මම අන්තිම පීරියඩ් එකත් ඉවර වෙලා ආපහු කෝප්පෙ ගන්න යනකොට ටීච ඒක බොන ගමන් හිටියේ. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි...... 
මොකද මට " මම '' වෙන්න ලැබුණාට.....
කෝපි එක හැබැයි නිවිලා තිබ්බද , රසට තිබ්බද, සීනී ඇතිද , කොහොමද කියලා නම් මම දන්නෙ නෑ. ඒත් මට මං ඒක ටීචට ගෙනිහින් දුන්න එකට නම් මටම හරි සතුටු හිතුණා.....
ගෙදර හිටියා නම් ඉතින් එක්කො අම්මට හරි නැත්නම් තාත්තට හරි වෙලාවෙ හැටියට මොනවහරි දෙයක්, එක්කො තේ එකක්, වැස්ස නම් කෝපි එකක්, නැත්නම් මෝඛා එකක්, රස්නෙ නම් බීම එකක් ඒ වගේ මොනාහරි දෙයක් හදල දෙන එකයි, අපිම හදාගෙන බොන එකයි ඉතින් සාමාන්‍ය දෙයක් නේ.... 
ඉතින් ළමයෙක් ගෙදර ළඟට ආදරේ කරන්නෙ ඉස්කෝලේට නම්, ගෙදරයි ඉස්කෝලෙයි අතරෙ ලොකු වෙනසක් තියෙන්නෙ බැහැනෙ.... 
ඒ හැරත් මම ඉස්කෝලෙන් ආසම කරන එකම තැන සංගීත කාමරේ විතරමයි. ( මම බැරිවෙලාවත් යන එන ගමනකදි මැරුණොත් එතන තමයි ඉපදෙන්න වෙන්නෙ කියලත් හිතුණා ... ) ඉතින් කොහොම වුණත් මං හරිම ආසාවෙන් තමයි ටීචට කෝපි එකක් ගෙනත් තිබ්බේ....මම ඉස්සර ඉඳන්ම අද වෙනතුරුම ආසම තැන තමයි එතන....

ඇත්තටම කීවොත්, මං පීරිසි කෝප්පයක් පීරිසියකින් වහගෙන හෙමින් හෙමින් සෑහෙන දුරක් අරගෙන යනකොට කවුරු හරි මොනාහරි ඇහුවොත් කියන්න ඕනෙ කොහොමද කියල බලන්නයි මං ඒ ටික හිතුවෙ. හොඳ වෙලාවට කවුරුත් මුණගැහුනෙ නෑ මට.....
මං ඒත් හිතුවා මුණගැහුණත් මොකද ?
මම ඇත්තනෙ කියන්නෙ කියල.....
මං හරි ආසාවෙන් ඒක ටීචට අරන් යනවා කියල කියනවා එච්චරයි......
කොහොමත් මෙච්චර කාලෙකට මම මං නොවී හිටියා හොඳටම ඇති දැන් නම්......දැන්වත් මම මම වෙන්න ඕනේ මෙහෙම චුට්ට චුට්ට හරි. නැත්නම් මා නොවන මම කුමටද ? 
මා නොවන මගෙන් මට නම් ඇත්තටම වැඩක් නෑ . අනික් අයට වැඩක් තියෙනවාද නැද්ද කියලත් මම දන්නෙ නෑ.... හැබැයි මා වන මම නම් මට ගොඩාක් වටිනවා...

ඉතින් ඇත්තටම මට අද ලස්සන අඟහරුවාදාවක් වුණේ අන්තිම මොහොතේ හරි, මං මම වුණ එකට. මං ආස දෙයක් කරන්න ලැබුණු එකට. අනික ටීචත් රස ඇතුව හෝ නැතුව හෝ නිවිලා හෝ කෝපි එක ඔක්කොම බීලා තිබුණා. ඉතින් මට තවත් සතුටුයි...සමහර විට ටීච ගෙ මහන්සියත් ඒ එක්කම යන්න ඇති. මට එහෙමත් හිතුණා..... ලෝකෙ හරිම ලස්සනයි එහෙම පුංචි පුංචි දේවල් වලින් හැඩ වුණාම. පුංචි දේවල් ලස්සනට දකින්න නම් මිනිස්සුන්ට හොඳ ඇහැක් තියෙන්න ඕනේ......මට හිතුණා. 

අද හරි පිරුණු දවසක් ! 

කොහොමත් එක විනාඩියකට හරි සංගීත කාමරේට යන හැම දවසක්ම පිරුණු දවසක් තමයි....එතන තියෙන පිරුණු බව මේ මුලු ඉස්කෝලේ කොහේ බැලුවත් හොයා ගන්න නෑ . මම හිතුවෙ අපේ ටීච(මගේ ටීච ) වෙන ඉස්කෝලෙකට ගිය නිසා ආපහු කවදාවත් මට මගේ පිරුණු සංගීත කාමරේ නැති වෙයි කියලා.... ඒත්, තාමත් මට තියෙන්නෙ මගේ ආදරණීය පරණ තැනම තමයි.....ඒ ගැන මට හරිම සතුටුයි.....දැන් එතන තවත් පිරිලා වගේ....දැනුත් එතන ඇත්තටම පිරිලා තියෙන්නෙ අපිව තේරුම්ගන්න පුළුවන් හදවතකින්....කලිනුත් එහෙමයි......ඉතින් ඒ නිසා හුඟක් ඉඩ තියෙන සංගීත කාමරේ පිරුණු තැනක්! එතන දොර ළඟට ගිහින් එන දවසක් පවා පිරුණු දවසක් ඉස්සර ඉඳන්ම.......තව මට ඒ මං ආසම කරන තැනට යන්න සහ එතන ඉන්න තියෙන්නෙ බොහොම පුංචි දවස් ගණනක් විතරයි.....ඉතින් එතන විතරයි ඇත්තටම මට මම වෙන්න පුළුවන් තැනකට කියල තියෙන්නෙ......ඒක දන්නෙ මං විතරයි..... මං ආසයි මම වෙන්න. ඒකයි මම එතෙන්ට ආස. ඇත්තටම තමන්ට තමන්ව හමුවීම හරීම ලස්සන දෙයක්. පුංචි වෙලාවකට හරි මට එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ එතැනදි විතරමයි.....ඒ නිසාමයි මං සමහර දාට ඉස්කෝලේ එන්නෙත්....'' ඈ මේ සියල්ල ලියා පොත වසා තැබුවාය. 

"අද ඇත්තටම හරි රසවත් දවසක්. හරියට කෝපි කෝප්පයක් වගේ.....අද හරි පිරුණු දවසක්,හරිම සතුටු දවසක්, ඉතින් එබැවින් හෙටත් උදෑසනක් වඩී....'' 

එහි අවසානයට ලියා තිබෙනු මම දුටුවෙමි..... 

_2023/ July / 25 අඟහරුවාදා_❤

✒️📝Se.Ka. 🌿

Comments

  1. ඔයාගෙ ජීවිතේ හැම දවසක්ම ඒ වගේ අගහරුවාදා දවස්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..♥️🤍

    ReplyDelete

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !