සුරතලී....💗
" හුළඟට වැලි කඳුවල හැඩේ වෙනස් වෙනවා. ඒත් කාන්තාරේ වෙනස් වෙන්නේ නෑ.එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගෙයි. “
“The Alchemist”
-Paulo coelho -
ලාලනය කියන්නේ සුරතල් කිරීම. ලාලසාව කියන්නේ මහත් වූ ආශාව. සු+ රත්> සුරත් - මහත්සේ ආශා හිතෙන/ ඇලුණු. එයට අල් යන ස්වාර්ථයේ ප්‍රත්‍යය එකතුවී, සුරතල් යන්න සැකසේ. මහත්සේ ආශා හිතෙනා යන්නයි එහි අරුත.......
ජීවිතේ අපේ හිත් හැම මොහොතකම කැමති ලාලනය වෙන්න. සරලවම කිව්වොත් කවුරුත් ආසයි හුරතල් වෙන්න. ඒකට වයස් භේදයක් නැහැ. හැම කෙනෙකු තුළම සඟවා ගත් හුරතලයක් , ලාලනයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපේ මමත්වය ඒක එළියට පෙන්වන්න කැමති නැහැ. හැමෝම හුරතල් වෙන්නෙ එකම විදිහට නොවෙන්න පුළුවන්.
කෙනෙක් ඒ හුරතලය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී, තව කෙනෙක් එය රහසින් විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ විඳීම තුළත් තියෙනවා ප්‍රකාශිත හුරතලයට වඩා සොඳුරු සුරතලයක්...
ආදරයක්, ප්‍රේමයක් පමණක් නොව ඕනෑම බැඳීමක් ශක්තිමත් වන්නේ මෙකී සුරතල් ස්වභාවය මතයි. අපගේ අව්‍යාජ, නිර්ව්‍යාජ, අවංක, සැබෑ ස්වරූපය විවෘතව විඳින්න, දකින්න පුළුවන් කෙනෙකු තුළ පමණයි අපට සැබෑ සැනසීම හිමිවන්නේ. සැමියා බිරිඳ ලෙස හෝ පෙම්වතා පෙම්වතිය තුළ හෝ, දරුවන් වැඩිහිටියන් තුළ හෝ කොටින්ම ගුරු ගෝල සබඳතාවක වුව, ඒ ඕනෑම සබඳතාවක සැහැල්ලුව රඳා පවතින්නේ අපි අපිව ම කෙතරම් තේරුම් ගන්නේද යන කාරණාව තුළ........ මවාගත් හෝ ආරෝපණය කරගත් ස්වරූපයක් , රඟ දැක්වීමක් කියන්නේ ආයුෂ කෙටි බැඳීමක්....
මම මා වන්නේ ද ,
ඔබ ඔබ වන්නේද
හුරතලය තුළ නම්,
එය විඳීම තරම් සුවයක් සිතකට වෙන කොහි තිබිය හැකි ද......
සුරතල් වීම යනු ස්පෘශ්‍ය දෙයක් පමණක් නොව. එය සැබැවින්ම අස්පර්ශනීය වේ. එනම් Intangible ය....එය හුදෙක් මානසික ගනුදෙනුවක් පමණි.
ගංගාවේ සංගීතය පැදියේ ඇති පහත පෙළ මට සිහිවේ.
" කවදා කොතනකදි හෝ මහ මුහුදු හිමී,
හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමී..."
හුරතලයෙහි සැබෑ අවශ්‍යතාව මෙය නොවන්නේදැයි ඔබට නොසිතෙන්නේ ද ?......
හුරතලය සුවදායි වන්නේ, මානසික ගනුදෙනුවක් ලෙස ප්‍රබලවම සිදු කළ හැකි නිසා යැයි ලියමි. සේයාරුවක් ගන්නා විට,
ගීතයක් අසනා විට,
සුන්දර යමක් දුටු විට,
අප විඳීමට කැමති සුරතල් බව නිර්ලෝභී ව, නිර්භය ව, විවෘතව ප්‍රකාශ කළ හැකි වටපිටාවක් අප වටා අපම නිර්මාණය කරගෙන ඇත්තේ අපටම නොදැනුවත්වම නොවෙද......... එය ප්‍රශස්ත වන තාක් මානව අභිමතාර්ථ වල උච්චකූටය මත රැඳෙයි.
සුරතලය සුන්දර ය !......
බොහෝ විට රචකයන්
විවිධ දේ රචනා කරන්නේ එම අප්‍රකාශිත හුරතලය,
දඟකාරකම ප්‍රකාශ කිරීමට ය. නමුත් එම සුරතල් බවේද විවිධ ප්‍රවර්ග ඇත. ප්‍රේමයේ සුරතලය අධ්‍යාත්මික හුරතල් බවට වඩා වෙනස් ය. කෙසේ වෙතත් ලිවීම තුළින් සිය මනැස හිස් කර, හදවත පුරවා ගෙන, සුරතලය විඳීමට බොහෝ රචකයෝ සමත් ය.......
හුදෙකලාව මතකයක් බවට පත් කිරීමටත්,
දුක ලාලසාවක් කිරීමටත් සුරතලයට පුළුවන් ......
හැම කෙනෙක්ම හරි හුරතල්. හැබැයි අපි දකින විදිහ මත එය වෙනස් වෙනවා.......
හුරතල් බව අපි අකැප ලෙස දකිනා තාක්,
ඔබට ඔබ තුළවත් තෘප්තියක් ලැබීමට නොහැකියි......
රාගික, විරාගික, වීතරාගී, අනුරාගී, ළමා, ළපටි , සුහුඹුල්, නෑඹුල්, නැවුම්, වියපත්, මේ ඕනෑම ප්‍රකාශනාත්මක අවකාශයක් තුළ කුඩා හෝ සුරතලයක් ගැබ්ව තියෙනවා .......
සුරතල් බවින් විනිර්මුක්ත යමක් වේ නම්, ඒ දුකම පමණයි !
බොරිස් ෂිට්කොව් නම් ලේඛකයා තමාට අනුග්‍රහශීලී වන හා තමා " නරක් කරන '' වැඩිහිටියන් විෂයෙහි ලා බාලයන් දක්වන ආකල්පය පිළිබඳව කියූ දෑ සිහිකැඳවනු වටියි...
"අනේ කොච්චර හුරතල් පැටියෙක්ද? වැඩිහිටි නැන්දනියක් තෙපළන්නීය... ඇරපු අතක් නැ බෝනික්කෙක් මයි... අනතුරුව ඇය දරුවා සිය උණුසුම් ළයට දෘඪ ග්‍රහණයෙන් තුරුළු කර ගනියි ... එහෙත් බෝනික්කා නැන්දාට අතින් පයින් පහර දෙමින් මෙම හැඟීම්බර ආලිංගනයෙන් මිදෙන්නට තැත් කරයි... දරුවාට බෝනික්කෙකු වීමට අවශ්‍යතාවක් නැති හෙයින් වැඩිහිටියන්ගේ මෙම ප්‍රමාණාතික්‍රාන්ත සුරතලය අප්‍රසන්න හිසරදයකි.... මීට පරස්පර ව වැඩිහිටියන්ගේ මේ සුස්ම සිර කරවන ප්‍රමෝදයට වහා අනුගතව ඔවුන්ට අවශ්‍ය පරිදි හැසිරෙන බාලයන් ද නැත්තේ නොවේ... ඔවුහු යෝග්‍යාකාරයෙන් නිසි ප්‍රතිචාර දැක්වීම අරඹමින් වැඩිහිටි සුරතලුන්ගේ සතුටු සාගරයෙහි ගිලෙති...''
සුරතලය ද අන් සියල්ල සේම පුද්ගලානුබද්ධ යැයි ඔබට මින් සිතෙනු ඇත.......
නමුදු එය සුන්දරය.
හුරතලය නැති ජීවිත තුළ ඕලාරික හිස් ගැඹුරක් ඇති අතර එකී අගාධය තුළින් මිදීමට මිය යන තෙක්ම නොහැකි විය හැක....
සුරතල් වීම වනාහී
ප්‍රමෝදයකි....
ප්‍රසාදජනක දෙයකි...
එය එසේ දැනෙන්නේ අප එය ලබනා තරමටය....අපෙන් එය තවකෙකුට ලැබෙනා තරමටය......
තුරුලක සුරතල් පින්න
සුන්දර ව දකිනා තාක්
එහි තෙමීම සතුටකි.
නැත්නම් එය අපුලකි......
24/11/3
✒️ Semini Kavindya Danthanarayana

Comments
Post a Comment
Comments ?