ඔලු සිඳගත් දශක 7 ක්......

 


ඔලු සිඳගත් දශක 7 ක් !..



පසෙකින් ඩබ්ලිව්. යූ කුමුදුමාලී ය. 


අනෙක් පසින් ඇසිලින් ධර්මරත්න ය. 


මේ කතාව එම උදාර, විශිෂ්ඨ, උත්සහවන්ත දිරිය කතුන් දෙපළ ගැන නොවේ. මේ කතාව ඔවුන් පිටුපස සැඟවුණු ඔබේ ඛේදනීය හෙට දවස ගැනයි. මෙය දීර්ඝ ලිපියක් විය හැක. කියවනු රිසි දනෝ පමණක් බලන සේක්. 

සිරස්තලය මෙසේය ,

" 97 අත්තම්මයි - 27 කුමුදුමාලී යි." දෙදෙනාගේ වයස් පරතරය වසර 70 කි.

ඔවුන් දෙදෙනා අපට උගත්කමේ පාඩමක් කියා දී ඇත. නමුත් ඊට එහා ගොස් තෙවැනි ඇසෙන් බලන අයෙකුට මෙම සිරස්තලය දුටු විට 

" අනේ හපොයි ! " කියා සිතෙන්නට පුළුවන. 

"හැත්තෑ වසක් ඔබ එකම තැන නොවෙදැයි" කියා අසන්නට පුළුවන.


කීප වතාවක් උසස් පෙළ කළ පසුව වුවද, නැත්තේ වුවද, 

සාමාන්‍ය උපාධියක් හෙවත් General degree එකක් ගන්නා විට වයස 27 ක් 28 ක් වන රටක අපි වෙසෙමු. පළමු වර විශ්ව විද්‍යාල වරම් ලැබූ අයවලුන් පවා සිය අධ්‍යයනය කටයුතු නිමාවී වයස 26-27 ක් වී උපාධිය ලැබෙන තුරු උපාධි ප්‍රදානෝත්සවය තබන තුරු මග බලා සිටිනු අපි දැක ඇත්තෙමු. 


කොළඹ පාසල් ගමේ පාසල් කියා වෙන් කළ රටක, කොළඹ පාසල් වලට එන්නේ ද ඈත පිටිසර ගම්බද සිට පැමිණෙන ළමුන් ය. 

ළමා කාලයේ විඳින්නට ඇති සියලු දුක් උහුළා, 

නේවාසිකාගාර තුළ නැවතී, කුසට හරි හැටි අහරක් නැතුව ඔවුහු තමාට ජීවිතය ජය ගැනීමට ඇති එකම දොරටුව අධ්‍යාපනය බැවින්, ඉගෙනීමේ නාමයෙන් ඒ සියලු ළමයි අනේක දුක් විඳිති. නේවාසිකාගාර බොහෝමයක ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. 

ළමයා ගේ කායික මානසික සුවය පවත්වාගෙන යාම එහිදී සිදු නොවේ. නමුත් ළමයි මහන්සි වෙති, දිවි හිමියෙන් ඉගෙන ගනිති. 

ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසල් වලට දුර බැහැර සිට එන බොහෝ අය එදිනෙදා දුක්ඛිත තත්ත්වය සඟවා ගෙන, දරා ගෙන ජීවිතය දිනන්නට මහන්සි වෙති. ගමේ පාසල් වල සිටින ළමයි ද සියලු අසීරුකම් දරා වෙහෙස මහන්සි වී කැප වී දුක් විඳ ඉගෙන ගනිති. ගමේ නගරයේ කියා වෙනසක් නැත, ඉගෙන ගන්නා ළමයි කොහේ සිට වුව, කුමන් සම්පත් ඇත්තේ වුව නැත්තේ වුව තම ඉලක්කය හඹා යති.

නමුදු ඒ ඉලක්කය හඹා ගොස් සිටින අති බහුතරයක් ළමයි සියලු දෙනාටම එදත් අදත් හෙටත් සෑම දිනකම විඳින්නට වී ඇත්තේ එකම දුකකි................


97 ඇසිලින් මහත්මිය ද 

27 කුමුදුමාලී ද එකම රාමුවක් තුළ දුක සඟවා ගෙන දිවි ගෙවා ඇත. අවසන ඔවුහු කඩයිමක් දිනා ඇත. නමුත් , එවන් බොහෝ අය ජීවිතයෙන් වැඩි කාලයක් සිදු කර ඇත්තේ ජීවත් වන්නට සූදානම් වීම මිස, ජීවත් වීම නොවේ. මෙහි වරද කාගේදැයි නොදනිමි......


මේ යථාර්ථය තේරුම් ගත් අති දක්ෂ බොහෝ සිසුහු වර්තමානය වන විට සාමාන්‍ය පෙළ කර හෝ නොකර හෝ, උසස් පෙළ කර හෝ නොකර හෝ, අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කර, විදෙස් ගත වෙති. ජීවිතයේ තරුණ කාලය ඔහේ දිය කර දැමීමට වත්මන් සිසුහු අකමැති ය. එසේ විදෙස් ගත වන අය, තම ප්‍රථම උපාධිය හදාරන අතර තුර රැකියා කරති, හොඳ වැටුප් ලබති, වයස 25 වීමට පෙර තමන්ට හැකි ලෙස තම ශ්‍රමයෙන් උපයා වාහන මිලදී ගනිති. ජීවිතය විඳිති....... යම් යම් අසීරුතා ඇති වුණත් එදිනෙදා සුව පහසු දිවියක් එහි ගෙවති. ඉන් පසු බොහෝ අය විදේශ රටවලම පදිංචි වෙති. නැවත මෙහි නො එති.

මා දන්නා අතිශය දක්ෂ බොහෝ පිරිසක් ද එසේ වත්මනෙහි දිවි ගෙවන්නෝ වෙති.

කෙසේ හෝ ඔවුහු ඔවුන්ගේ ගැලවුම් මාර්ගය සොයා ගොස් ඇත. එහෙත් එසේ විදෙස් ගත වීමට නොහැකි අය, රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් ලබා තිබියදී පවා පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ සිය උපාධිය නිශ්චිත 3-4 වසරක් තුළ නියමිත කාලයට අවසන් කර, උපාධිය ලබා සුදුසු රැකියා කරති. දියුණු වෙති. තරුණ ජීවිත අපතේ නොහරිති. සරසවි වරම් ලබා තිබියදී පවා පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ළමයි යොමුවන්නේ 100% කැමැත්තෙන් නොවේ. වෙන කරන්නට දෙයක් නැති නිසාය. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ නිසාය. නමුත් ඉන් සිදුවන්නේ ළමයිට කෙතරම් අසාධාරණයක් ද ? මෙරට අධ්‍යාපනයේ හිස්තැන් වලට ළමයි වගකිව යුතු ද ?..........


රජයේ විශ්වවිද්‍යාල තුළ නිරන්තරයෙන් ඇතිවන ගැටලු, උද්ඝෝෂණ , වර්ජන, මේ සියල්ල නිසා පීඩා විඳින්නේ තරුණ පරපුරයි. පාසල් අධ්‍යාපනය ද අතිශය පසුගාමීය. ලංකාවේ පෙනෙන තෙක්මානයක දියුණුව කියා කිසිවක් නොපෙනෙන හේතුව එයයි. මෙරටට දියුණුව යනු මිරිඟුවකි. ළමුන් සහ තරුණ සම්පත නොවටිනා රටක අනාගතය අඳුරුය. 

ශ්‍රී ලංකාවේ මානව සම්පත අති විශිෂ්ඨ ය. 

නමුදු එය වගකිවයුතු කිසිවෙකු වටහා ගෙන නැත. දුක් විඳ අති දක්ෂ ලෙස ජීවිතය දිනනා කුමුදුමාලී වැනි අය උපාධිය ගන්නා විට 27 ක් වීම ගැන රටක් ලෙස ලැජ්ජා විය යුතුය. 

ඒ කුමුදුමාලී ය. නමුත් එසේ අප නොදන්නා අයගේ කතා කෙතරම් ඇත්ද ?......... 

කොතෙක් ඉපයූවද, 

කොතෙක් අධ්‍යාපනය හැදෑරුවද, සියල්ලෝ ජීවිත් වන්නේ අසීරුතා රැසකය. 97 ඇසිලින් නෝනා ට එදා තිබූ ගැහැට, අද සමාජය දක්වාම වලංගු වී ඇත. 

මෙතෙක් කල් කිසිවෙක් කිසිත් කර නැත්තේ ඇයි දැයි තේරුම් ගැනීමට හැකි කිසිවෙක් ද නැත. 


එපමණක් නොව, 

කඳ මිස හිස නැති ඇතැම් උගත් යැයි සිතා ගෙන සිටිනා අය පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබනා අය ගැන බලන්නේ වපරැසිනි. ඒ තරම් පටු වැඩිහිටියෝ තවමත් සිටිති. ඔවුන් උපාධි ලැබූ අය වුව, නැති අය වුව සැබැවින්ම හිස මොළ නැති ඇසක් නැති, ඉතා අල්ප වූ චින්තනයක් හෝ නැති, හීන මානයෙන් පෙළෙන අය වේ. රාජ්‍ය විශ්වවිද්‍යාල යනු නිදහස් අධ්‍යාපනයේ හිණි පෙත්ත වුව, එහි හිඩැස් ඇත්නම්, පුද්ගලික විශ්වවිද්‍යාල වෙත ගොස් හෝ ඇති හැකි ලෙස ජීවිතය දිනනවා මිස මෙරට නව යෞවන පරපුර වෙන කුමක් කරන්න ද ?............ 


එහෙත් බොහෝ අඳ ගොලු බිහිරි උගතුන් ට එය නොසිතේ. ඔවුන් සිතන්නේ උපාධියක් නම් රජයේ විශ්වවිද්‍යාලයකින්ම ලබා ගත යුතුයි යන්නයි...... 

රජයේ විශ්වවිද්‍යාල ඉතා උසස් බව සැබෑයි. නමුත් එහි ඇති ව්‍යතිරේක ගැන කවුරුත් කතා නොකරන්නේ මන්ද ?.......

දේශපාලුවෝ තමන්ගේ බඩ වඩා ගන්නවා මිසා මෙරට උගතුන් බිහි කිරීමට අකමැති නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශ්වවිද්‍යාල ශක්තිමත් නොකිරීම ගැන කතා නොකරන්නේ මන්ද ?........

එයින් ළමයිට වන අසාධාරණ ය ගැන ගොළු වන්නේ මන්ද ?.......

දේශපාලුවෝද පුද්ගලික විශ්වවිද්‍යාල ඇති සැටියෙන් විවෘත කරන්නේ ඔවුන්ගේ වාසියට ය. නමුත් මේ සියල්ලෙන් සූරාකෑමට ලක්වන්නේ ද , සමාජයෙන් අවලාද අපවාද අසමින් නින්දාවට පත් වන්නේද අහිංසක ළමයි සහ තරුණ පරපුරයි. 


"පුද්ගලික විශ්වවිද්‍යාල තුළින් සල්ලි වලට උපාධියක් ලබයි!" යන අන්ත පසුගාමී සමාජ මතයක් ලංකාවේ ඇත. 

නමුදු ඒ ළමයින් ද එක සේ පාඩම් කර, විභාග ලියා, අදාළ නිබන්ධන ආදිය සම්පූර්ණ කර, අසීරුතා මැද, උපාධිය ලබනා බව කවුරුත් නොසිතයි.......සල්ලි ගෙවූ පමණින් උපාධිය හිස මත ට පුදනා කිසිඳු විශ්වවිද්‍යාලයක් නැත. 

ලංකාවේ සාතිශය බහුතරයක රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන් සමාජය සමඟ විසල් ඇරියස් එකකින් සිටින අයයි. උපාධියක් නොලැබූ අය තුළ ද එබඳු දෙයක් ඇත. එමෙන්ම සිය උපාධිය නිසා හිස ඉදිමුණු අය ද සිටියි. සියල්ලෝ එසේ නැති වුව, යටිහිතෙන් හෝ දශමයක හෝ එබඳු දෙයක් ඔවුන්ගේ මනසේ ඇත. ඒ නිසා, රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබූ අයෙකු පවා, එහි කාලය නාස්ති කිරීමට අකමැත්තෙන් පුද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට තෝරාගත් විට, " අනේ අපරාදේ පුතේ, අරහෙ යන්න තිබ්බෙ මෙහෙ යන්න තිබ්බේ ".........ලෙස ඔවුහු පවසති. නමුත් ඉන් සිදුවන කාල නාස්තිය ගැන කිසිවෙකු කිසිවක් නොකියති. 


මෙරට පාසල් පද්ධතිය පවා සකස් වී ඇත්තේ දරුවා ප්‍රබුද්ධ අයෙකු කිරීමට නොව, සුභග සිසුන් පවා මොට කර දැමීමටය. විශ්වවිද්‍යාල පද්ධතිය ද අතීතයට වඩා අද වන විට අතිශය පහතට වැටී ඇත. අතීතයේ සරසවි සිසුවෙක් තුළ තිබූ ඒ සාඩම්බර බව අද නැත. අද විශ්වවිද්‍යාල යනු දියාරු වූවකි. විනයක් නැති රටක, ක්‍රමයක් නැති රටක, මින් එහා කිසිවක් බලාපොරොත්තු විය නොහැක. තරුණ සම්පත් වියළෙති. ළමා සම්පත මිළින වෙති. 

අනාගතය එකම තැන ලොප් වෙති. එහි කදිම නිදසුන, 97 අත්තම්මා සහ 27 කුමුදුමාලී වේ. 


මින් මා ගම්‍ය කළ දේ නිවැරැදි ව විවෘතව වටහා ගන්නේ නම් මැනවි.........


ලංකාවේ වෙනස් විය යුත්තේ අන් කිසිත් නොව අධ්‍යාපනය යි. 

අධ්‍යාපනය වෙනස් වූ තැන, අන් සියල්ල වෙනස් වේ. අධ්‍යාපනය යනු අප ඉගෙන ගත් සියල්ල අමතක කළ පසුත් අප ළඟ ඉතිරිවන දෙය වේ. මේ වන විට අප ළඟ කිසිත් ඉතිරිව නැත. අප සතුව ඇත්තේ, අප හිස මත බලෙන් පැටවූ රටක බර පමණි !.............................................


ශ්‍රී ලංකාව යනු වළපල්ලට යන රටක් වුවද, සියලු සිත් තුළ ම අහිංසක බලාපොරොත්තුවක් ඇත. ඒ " අපට හෙටක් තියේවි " යන්නයි. 

ඒ බලාපොරොත්තු ඉටු වන්නේ, අප රටේ අධ්‍යාපනය වෙනස් වූ කලෙක පමණි !.............


මේ රටේ විනාශ මුඛයට පත් වන්නේ ස්වභාවික සම්පත් පමණක් නොව මානව සම්පතයි. " ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරය " යනු නමේ ඇති කිසිවක් ප්‍රායෝගිකව නැති, අතට ගත් දේ කටට දා ගන්නට පින නැති, නිධානයක් උඩ සිඟමන් යදින,කළමනාකරණයක් නැති රටකි. මෙහි සිටින මිනිසුන් අද ජීවත් වන්නට සූදානම් වී හෙට මියැදෙන අයයි..............

ඔවුන් කිසිවෙක් කිසි දින ජීවත් වී නැත............


97 අත්තම්මා ද  

27 කුමුදුමාලී ද


අපට කියා දුන් ලොකුම පාඩම එයයි.........💯


පාසලෙන් ඇරඹිය යුතුයි 

රටේ හෙට දවස ! 

එහෙත් සියල්ලෝ කරන්නේ වේලුණු ඉරටු නැවීමට යාමයි.............


" තමන්ට තමන්ව වටිනවා කියල දන්නෙවත් නැති මිනිස්සු 

තමන් ඉස්සරහ ලස්සන ලෝකයක් තියෙනවා කියල කොහොම හිතන්න ද ?......... " 

ලංකාව කාලෙන් කාලෙට එක එක මාතෘකා එක්ක ලොප් වෙවී එකම තැනක ඉන්නකොට, හැමදාම ඉතිහාසය තලු මර මර, වංසෙ කබල් ගාන කොට, ලෝකය අවුරුදු 10 ක අනාගතය හදල ඉවරයි.......

විද්‍යා දදාති විනයං ! 

අපිට නැත්තෙම ඒක......


24/9/8 💗

✒️Semini Danthanarayana - 


Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !