ගිණි ඇවිලෙන විට....
ඔබ වෙනුවෙන් මා ගැයුවෙමි. මා සමඟම ඔබ ගයන්න !.....
දිනුවා යැයි අප සිතූවද අප දිනුවේ නැත. පරාජය වූවා යැයි සිතූවද, අප පරාජය වූයේද නැත. මිලේච්ඡත්වය හිණි පෙත්තට නැඟි අවධියක,රුදු මරණයේ ඉරණම්කරු වූයේ අනාගතයයි.අද, ඔබගේ ද, මාගේ ද අනාගතයට ඔවුහු එදා වෙඩි තැබූහ. නීතිය,යුක්තිය, සාධාරණත්වය ගිණිගත් එවන් යුගයක, ඉරිතලා බිඳ වැටෙන ඇතුළු හදෙහි කම්පනය, ගලා යන කාලයේ හා සමාජයීය වෙනස්කම් ප්‍රවාහය තුළ ජීවිතය විදාරණය වන අයුරු අවධාරණය කෙරෙන, වචනාර්ථ ඉක්මවූ අපූර්ව ප්‍රකාශන ගුණයෙන් යුතු නිර්මාණ බිහි විය.
ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෝ තමා ඉපදුණු මොහොතට වඩා යහපත් ලෝකයක් හෙට දවසේදී නිර්මාණය කරන්නට වෙහෙසුණි.ඒ අතර ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් ශ්‍රාවක ප්‍රේක්ෂක ඥාන මණ්ඩලය මෙන්ම භාව මණ්ඩලයද පෝෂණය කරමින් සමාජ යථාර්ථය නිර්භයව සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළේය. ඒ සියල්ලෙහි ආත්මීය රිද්මය ජනගත කිරීමට මාස්ටර් දැරූ උත්සාහයට සිය ජීවිතයම කැප කළ දැවැන්තයන් එකල සිටි බව වත්මනෙහි බොහෝ අය නොදන්නවා විය හැක.නමුදු කලාකරුවා තුළ අත්‍යන්තයෙන්ම ගැබ් විය යුතු නිර්භය බව, මානුෂීයයත්වය, එඩිතර බව ආදී සියල්ල මොනවට පසක් කළ ඔවුන් එදා කළ ඒ කැපකිරීම් අද සමාජයේ සිටින අයට කිරීමට තබා සිතීමටවත් නොහැකි තරම් උත්තුංග කැපකිරීම් ය.අද දක්වා පැවත එන ඒ ශ්‍රේෂ්ඨ පරපුරේ ඉහළ පුරුකක ඔබේ හද රැඳි ළයාර්ද්‍ර හඬ පෞරුෂයක හිමිකරුවෙක්ද සිටියි.
එතුමා, විශාරද අමරසිරි පීරිස්
සූරීන් ය.
රසික ඔබ උච්චකූටයකට ගෙන යන මාස්ටර් කේමදාසයන් ගේ සංගීතයේ නාද මාලා, ස්වර රටා සිය අත් අකුරින්ම සටහන් කළ, කේමදාසයන්ගේ අභ්‍යන්තර සංකීර්ණත්වයෙන් ගලා එන ප්‍රතිභාන්විත ස්වර මාධූර්‍යයේ රස කඩදහි වල ලියා දුන් , සිය හඬින් ඒවාට ප්‍රාණය දුන් ස්වකීය සංගීත චාරිකාව ගුණෝපේතව හැඩ කරගත්,එතුමාගේ දිවියෙහි තීරණාත්මක මෙන්ම අමරණීය මතකයන් රැගත් ගීත අතර,
ගිණි ඇවිලෙන විට කුස තුළ හාමත රැඳී තිබේ.
ඉරිතලා බිඳවැටෙන ඇතුළු හදෙහි කම්පනයක් සහිත, උච්ච මානව අභිමතාර්ථ නටඹුන් වූ සමාජයක,හද ගැස්ම පවා අහිමි කරන ලද බියෙන් ඇවිළ ගිය භීෂණ සමයක, සත්‍යය මිය ගිය, අයුක්තිය රජ කළ යුගයක,සත්‍යය දකින දෑසටද, එය පවසන මුවටද, එය දන්නා හෘද සාක්ෂ්‍යට ද, වෙඩි උණ්ඩ එල්ල වූ සමයක පවා , ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් ඒ සත්‍යය ජනගත කිරීමට උත්සහ ගත්තේය.එකී නිර්මාණ ඇතුළත් කිලර් කැසට් පටයේ එන ඇතැම් ගීත, ගායනා කිරීමට පවා බොහෝ අය මැළි වූ කාලවකවානුවක, මාධ්‍ය නිදහස හා ප්‍රජාතාන්ත්‍රවාදය ටයර් සෑයක ගිණිබත් වෙමින් තිබූ සමයක, ඒ ගීත ප්‍රසිද්ධ මාධ්‍යයේ විකාශය නොවුණි. ඒ ජන මාධ්‍යයේ ජඩ ස්වරූපය මොනවට පසක් කළ තවත් යුගයකි!...
යුක්තිය ඝාතනය වන ඒ සමයේ සිය සොයුරකු බඳු ඔහුගේ ජීවිතයට ඇති ආදරය නිසාම, "ඒ ගී ගැයුවේ නැතුවාට කම් නැත'' ලෙස ආචාර්‍ය කේමදාසයන් පවසන විට පවා, නොබියව ඒ ගී ගැයූ විශාරද අමරසිරි පීරිස් සූරීන් ළතෙත් ගුණෙන් හෙබිය. සත හා ශත අතර වෙනස නොදත්, යෞවනයේ ඉන්ධනයෙන් අපාලිතව අක්මුල් සිඳගත් අයගේ මරණීය තර්ජන හමුවේ වුවද, ආත්මාර්ථය කිරුළු ලූ මුල් පුටුවල හිමිකරුවන්ගේ අදූරදර්ශි ක්‍රියා නිසා සිය රැකියාව පවා වසරක් පමණ ගතවන තුරු අහිමි වූවේ වුවද, ජීවිතය,රැකියාව හා මරණය අතර තීරණාත්මක අභියෝග රැසක් හමුවේ වුවද, ඉඳුකිළණක් සේ නොසැලී අභියෝගයන්ට අභියෝග කිරීමට විශාරද අමරසිරි පීරිස් නම්, ඒ ශ්‍රේෂ්ඨ ගායනවේදියාණන්ට හැකි විය. ඒ නිසා අපි අදට ද, ඒ ගී වලින් ප්‍රාණය ලබන්නෝ වෙමු.
පරාර්ථය වෙනුවෙන් ඒ සා විසල් වෑයමක නිමග්න වන්නට හැකි මිනිසුන් ගෙන් වත්මන් ලෝකය සුසැඳිව ඇත්තේ නොවේ.
අපේ සමාජයේ මුල් බැසගෙන ඇති ඇතැම් ප්‍රශ්න , ඇවතුම් , පරතර, ශිෂ්ඨ සම්පන්න සමාජය හා නොගැළපෙන බව දුටු ආචාර්‍ය කේමදාසයන්, ඒ ආරාවුල් සහිත පරතරයේ ඛේදය නැවත ඔබ අප නැමැති ජූරිය හමුවට ගෙන එන්නට දැරූ උත්සහයට ප්‍රාණය දුන් විශාරද අමරසිරි පීරිස් සූරීන් ගේ හද බස ම මේ ගීය තුළින් ඇසෙන්නේ නොවෙද ?......
සැබැවින්ම මෙය, එදා මෙන්ම අදත්, එදා ගැන නොදත් හෙටටත් , ඔබ නැමැති ජූරිය හමුවේ තැබිය යුතුම දෙයකි.
සවන් ඇත්තෝ අසත්වා, ගිණි ඇවිලෙන විට කුස තුළ හාමතට.
එවිට, යළි කිසි දිනක යායුතු නිවැරදි මාවත නොපෙනී නොතිබෙනු ඇත.....
" *මෙතුවක් කල් අප අතින් මියැදුණේ සුරැකිය යුතු වීර පරපුරයි. වැනසිය යුතු රුපු පරපුර වෙනුවෙනි* ''
✒️2023 අගෝස්තු 25 වැනිදා.....
Se.Ka. ✨
Semini Danthanarayana ❣️
Comments
Post a Comment
Comments ?