කවියා සහ ළමයා....
මම මේක ලියන්නෙ මට. ඒ නිසා මේකෙ දිග ගැන හෝ භාෂා භාවිතය ගැන හෝ වෙන යම් කිසිවක් ගැන හෝ මා හට කිසිඳු ප්‍රශ්නයක් නැත. ඇත්තටම මම මේ ලියන්නෙ මා විසින් මටම කිව යුතු දෙයක් පමණි.මට මේ කතාව ශාස්ත්‍රීය ලිපියක් විදියට ලියන්න ඕනෙ නැහැ. නැත්නම් මටත් තිබුණා ලස්සන කවි සහ විවිධ උදාහරණ එක්ක මේ ලිපිය හැඩ කරන්න. ඒත් ඇයි මම එහෙම කරන්නෙ? මෙය හුදෙක් ආත්මභාෂණයක් පමණයි.ඒකයි...
ඇත්තටම ,අපේ ජීවිත ඇතුළෙ අපිට ගොඩාක් ලස්සන දේ මුණගැහිලා තියෙනවා.හුඟක් හොඳම සහ වැදගත් දේ මුණගැහිල තියෙනවා.ඒත් ඔබට ලෝකෙ ඉන්න හොඳ ම කවියා මුණගැසී තිබෙනවාද ?......
සංගීතය රස විඳින්න අපිට සංගීතය හදාරන්නම අවශ්‍ය නැහැ. ඒ ඒ රටවල්වල විවිධ වූ සංගීත රසයන් විඳින්න අපිට ඒ ඒ රටවල භාෂා ව දැනගැනීම අවැසි වෙන්නෙත් නැහැ....සංගීතය විශ්ව භාෂාවක් වෙන්නෙ ඒ නිසා.හැබැයි ඔබ හිතන්න, කවියක් ගැන ?
අපිට ඕනෙම කවියක් රස විඳින්න නම්, බසේ රස ගැන සහ බස ගැන දැනගෙන ඉන්නම වෙනවා....බස ගැන දන්න , රස ගැන දන්න ගොඩාක් අය කවි ලියනවා. තව සමහරු කවි විඳිනවා....ඒ ඒ කවි අතර තමන්ව මුණගැසෙන මොහොතෙදි අපි හිතනවා ඒ තමයි හොඳ ම කවිය කියල.ඒ වගේම ඒ තමයි හොඳ ම කවියා කියලත් අපි හිතනවා.... යම් කෙනෙක් අපේ ජීවිතේ හොඳ ම කවියා බවට පත්වෙන්නෙ අපේ අත්දැකීම් සහ කවිය අතර දෛලක්තික සම්බන්ධයක් තිබුණම විතරයි....
ඒත් අපි ටිකක් කල්පනා කරල බැලුවොත් , ඇත්තටම ලෝකෙ ඉන්න හොඳ ම කවියා කවුරු වෙන්න පුළුවන් ද ?........
මලක් !
මලක් ළමයෙකුට උපමා කරපු කවියා නෙමෙයි ද ලෝකෙ ඉන්න හොඳම කවියා වෙන්නෙ ?
සිනිඳු මලක් ! කොහොමද ළමයෙක් වෙන්නෙ ? ළමා ළපටි හද ක් කොහොමද මලක් වෙන්නෙ ? මලක් සහ ළමයා එක වගේ දැකපු කවියා තමයි ලෝකෙ ඉන්න හොඳ ම කවියා වෙන්නෙ ..ඒත්, ඒ හොඳම කවියාට පවා මඟහැරුණු දෙයක් තියෙනවා......
කවියො ඕනෙ තරම් කවි ලියනවා..අහසේ සිට පොළොව දක්වා හැම දේම ගැන කවියො කවි ලියනවා.... නමුත් ළමයා ගැන පවා කවි ලියන කවියාට අමතක වුණ එක තැනක් තියෙනවා.....ගොඩාක් වෙලාවට මේ ලෝකෙ වැඩිපුර නිර්මාණ බිහි වුණේ දුක එක්ක. හදවතේ සියුම් තැන් ඉතාමත්ම සියුම්ව ස්පර්ශ වුණ සිදුවීම් එක්ක අනර්ඝ නිර්මාණ බිහි වෙනවා. අපි ඒවා රස විඳිනවා....ඒවා රස විඳින්න වයස් භේදයක් නැහැ. කවි,ගීත ආදී මේ ඔක්කොම එහෙමයි.
දුක කියන දේ විවිධාකාරයි. විරහව, පියෙහි විප්පයෝගය, අප්පියෙහි සම්පයෝගය, කැමති දේ නොලැබීම ආදී වශයෙන් වූ විවිධ දුක් වර්ග ගොඩක් තියෙනවා. මේ විවිධ සිදුවීම් නිසා දුක ගොඩගැහෙනවා. කොහොම වුණත් ඒ මොනයම් ආකාරයක දුකක් ඇසුරින් හෝ ලස්සන නිර්මාණයක් බිහි වෙනවා...ඒත් මේ බිහි වුණ නිර්මාණ අතරෙ පොඩි හිස්තැනක් තියෙනවා. ඒ මට දැනුණ දෙයක් !
මලක් ළමයෙක්ට උපමා කරපු හොඳම කවියාට පවා මගහැරුණු තැනක් ඒක...ඒ තමයි, පුංචි ළමයෙකුගෙ හිතට දැනෙන දුක ගැන මුකුත් ලියවිලා නැති එක.....
ඒත්, එතකොට සුරංගීට දුක හිතුණා සිංදුව ගැන මොකක්ද හිතන්නෙ ?නෑ ඒකෙත් ඇත්තටම ළමයට නෙමෙයි දුක හිතිල තියෙන්නෙ. ඒකෙ දුක හිතෙන්නෙ තාත්තට. එකී මෙකී නොකී ගොඩාක් ගීත වල , කවි වල දුක හිතිල තියෙන්නෙ වැඩිහිටියන්ට මිස ළමයිට නෙවෙ. ළමයි ලොකු වුණාම, ළමයිනුත් වැඩිහිටියො වුණාම ලියන ඒවගෙ දුක තියෙන්න පුළුවන්. ඒත් ඒව එතකොට ළමයි කියන කොටසට අයිති වෙන්නෙ නෑ නෙ. ඉතින් ඒ කියන්නෙ ළමයිට දුක හිතිලම නැද්ද ? නැත්නම් ළමයිට දුක හිතෙනවා කියල කවුරුත් දන්නෙ නැද්ද ? එහෙමත් නැත්නම් ඇත්තටම දුක හිතෙන්නෙ වැඩිහිටියන්ට විතරයි ද ? කවියො ළමයි වෙලා ඉන්න කාලෙ දුකක් දැනිලා නැතුව වත්ද ? අනේ මන්දා .
කොහොම වුණත් හැම තැනම තියෙන්නෙ වැඩිහිටියන්ට දුක හිතෙන තැන්වලට ළමයිව ඔබ්බවා ගත්ත දේවල් මිස, ඇත්තටම ළමයට දුක හිතුණාම කොහොමද ඒක දැනෙන්නෙ කියල නෙමෙයි. ඒ ඇත්ත ළමයාගේ හැඟීම් ගැන ගැබ් වුණ නිර්මාණ හුඟක් අඩුයි.... මම ඇත්තටම කැමතියි මටත් එහෙම නිර්මාණ මුණගැසෙනවා නම්.ඒ නිසා මෙය කියවන ඔබට එහෙම නිර්මාණයක් මුණගැසුණොත් මටත් එවන්න.
කොහොම වුණත්,සිනිඳු වලාකුළක් වගේ සනිපම සනීප හදවතක් තියෙන පුංචි ළමයෙකුට, හෝ ලොකු ළමයෙකුට කොයි විදිහක හරි ළමයෙකුට, ලස්සන ට පෙනෙන රෑ අහසෙ හඳ චුට්ටක් හැංගුණත් ඇති හුඟක් දුක හිතෙන්න.ඒ විතරක් ද, දවස පුරා දැනෙන පාලුව, තනිකම, මහන්සිය, කාට හරි කතා කරන්න හිතෙන එක, ඒත් එයා කැමති කාටවත් එයා එක්ක කතා කරන්න වෙලාවක් නැති එක, මල් පිපෙන පරවෙන එකේ ඉඳලම හැම දෙයක් නිසාම පුංචි ළමයෙක්ට ඇත්තටම දුක හිතෙන්න පුළුවන්. ඉස්කෝලේ දි වුණත් කොච්චර හිත රිදෙන දේවල් වෙන්න පුළුවන් ද ? පුංචි ළමයෙක් ගෙ හිත මලක් වගේ වුණත් කාටවත් ඇයි බැරි ඒ මලට දුක හිතෙන එක ගැන කවියක් ලියන්න ? එතකොට ඒ මලට පුළුවන් දුක හිතෙන වෙලාවට ඒක රසවිඳින්න.....
දුක හිතෙන වෙලාවට අපි වයස් භේදයක් නැතුව හැමෝම වගේ එකම නිර්මාණ රස විඳින බව ඇත්ත. ඒත් ඒ කිසිම එකක වස්තු විෂය ළමයාගේ දුක නෙමෙයි. ඒ ගැනයි මට පුදුම. ගොඩාක් රෑ වෙලාවට එළියට ගිහින්, ජනේලෙ ඇරගෙන සුළඟක් විඳින ගමන්, බැල්කනි එකේ ඉඳල තරු පිරුණු අහස බලන ගමන්, වැස්ස වෙලාවට කෝපි එකක් බොන ගමන්, හවසට ඉර බැහැල යන කොට පින්තූරයක් ගන්න අතරතුර....මේ වගේ ඕනෙම වෙලාවක ළමයෙකුගෙ හදවතේ පුංචි සීරිමක් තිබුණත් අන්න එහෙම වෙලාවක ඒක ගොඩක් දැනෙන්න පුළුවන්. විශේෂයෙන් ඕනෙම වෙලාවක, ඕනෙම අය එක්ක කතා කරන්න විදිහක් නැති වුණාම, ඒ දිග කතා අහන්න ගොඩක් ආදරේ කරන කන් ලොකු අලියො ළඟ නැති වුණාම, ගොඩාක් වැඩ බහුල, අධිකව ඔලුව රිදෙන දවසට, උදේ ඉඳන් ඉස්කෝලෙයි පන්තියි ගිහින් එන, එළි වෙනවා රෑ වෙනවා බලන්න වෙලාවක් නැති දවස් වලට, මේ වගේ හැම දවසකම හිතට ගොඩක් දුක හිතෙන පුංචි ළමයි ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා.....
ඉතින් ඇයි කිසිම කවියෙක්ට බැරි එහෙම ළමයෙකුගෙ දුක ගැන ලස්සන ට ලියන්න ?ළමයි හරි පුංචියි. කොච්චර ලොකු වුණත් එයාලගෙ මනස හරි සිනිඳුයි..ඒක හරියට ඉක්මනින් දියවෙන රෝස පාට බොම්බෙමොටයි එකක් වගේ....ළමයෙක් ගෙන් එයාගෙ දවස කොහොමද ඇහුවම සමහර වෙලාවට ඒක ඇත්තටම කොහොමද කියල කියාගන්න තේරෙන්නෙ නැති ළමයි ඉන්නවා. හිස් බව පිරුණු දවස් ඕනෙම ළමයෙක්ට තියෙනවා. ඉතින් එහෙම දවසකට ඒ පුංචි හදවත චුට්ටක් අතගාන්න සුරංගනාවියක් එනව නම් හොඳයි කියල ඒ හිත් වලට හිතෙන දවස් තියෙනවා. ඒත් සුරංගනාවියක් තියා, තමන්ගෙ අත්දැකීම් ගැන ලියවුණ කවියක්වත් නැති වුණාම ඒ හිත් වලට හුඟක් දුක හිතෙනවා ඇති....
ඉතින් එබැවින් ආදරණීය ව ලියන ඔබෙන් මම ඉල්ලන්නෙ, පුළුවන් නම්, හුඟක් ලස්සන දේ ලියන අතරම, පුංචි පුංචි දේ නිසා ගොඩක් දුක හිතෙන පුංචි ළමයෙකුගෙ හිතට දැනෙන ඒ දුක සහ ඒ සංවේදී බව ගැනත් ලස්සන ට අකුරු අමුණන්න.....
හැමදේම ලැබෙන නිසා, කිසිම විරහවක් නැති නිසා, තාම පුංචි නිසා, අම්මයි තාත්තායි ඉන්න නිසා, හොඳ ළමයෙක් නිසා, හොඳට වැඩ කරන නිසා, ගොඩාක් දේවල් තියෙන නිසා.....යනාදී විදිහෙ එක එක හේතු නිසා කවදාවත්ම ළමයෙක්ට දුකක් හිතෙන්නෙ නෑ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒත් ඒක වැරදියි. පුංචි ළමයෙක්ට දුක හිතෙන්න පුංචිම පුංචි දේවල් වලින් හැදුණු හේතු ගොඩක් තියෙනවා....කොටින්ම ටීච කෙනෙක්ට ගොඩක් ආදරේ කළාමත් සමහර විට අන්තිමට පුංචි හිතට දුක හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතක් ගැන ලස්සන කවියක් ලියන්න තව කාටහරි පුළුවන් නම් ඒක කොච්චර හොඳයි ද....
පුංචි පුංචි හිත් ගොඩාක් බලාපොරොත්තු වෙනවා, හුඟක් නිහඬව. ළමයෙකුගෙ හදවත අතට අරන් බැලුවොත් ඒක ගොඩක් උණු වෙන් දැනේවි. ඒ තරම්ම එය මෙලෙක්. ඒ හදවතෙන් "ලබ්ඩබ්'' ගාලා ඇහෙන්නෙ නැහැ. මල් පෙත්තකට රිදුණාම සද්දයක් ඇහෙන්නෙ නෑ නෙ. ඒකයි.....
ඉතින් සිනිඳු සීනි පිරුණු රෝස පාට බොම්බෙමොටයි එකක් වගේ, සීතල නිල් පාට වලාකුළක් වගේ , ලස්සන පුංචි හදවතක් ගැන, ලස්සන කවියක් හම්බුණොත් ඔබට,මටත් කවියක් එවන්න!....
නැත්නම් , එහෙම ලස්සන හදවතක් තියෙන පුංචි මං වෙනුවෙන්, ඔබත් කවියක් ලියන්න....☁️
"අපේ ජීවිතේ කාව්‍යමය තත්ත්වය තමයි ළමා කාලය. අනික් හැම කාල පරිච්ඡේදයක් ම ගද්‍ය විතරයි!"
- ඊබ්‍රාහිම් ටින්ස්මිත් -
සේ.කා.
-2023/8/24 -
ප.ලි : -
මේක ලිව්වෙ 24 වුණත් , ලියන්න හිතුණෙ 22,23 🍃💚💛 (ඒත් ගිය අවුරුද්දෙ අගෝස්තු මීට වඩා ගොඩක් ලස්සනයි )

❤❤❤❤❤
ReplyDelete