ප්‍රාර්ථනා !........

 

මා මේ වෘතාන්තය ලියන්නට පටන් ගත්තේ එය සිදුවී පැය කිහිපයකට පමණ පසුවය. මෙය මදක් දික් වුවද හරි අපූරු සිදුවීමකි.....

"හෙටත් උදෑසනක් වඩී'' නමින් මා මේ දිනවල ලියමින් පවතින පොත සඳහා පාදක කරගත හැකි අපූරු සිදුවීමක් අද සිදුවුණි. මම එය මාගේ උක්ත පොතෙහි ලිවීමට අපේක්ෂා කරමි. එය එසේ ලියූ පසු, මම නැවත පාඨකයෙකු ලෙස බාහිර කෝණයකින් මා ලියූ එම පොත කියවන කල්හී, එනම් නුදුරු අනාගතයේදී එම කතා කොටස, මාගේ පොතේ ඇති අහිංසකම පරිච්ඡේදයක් ලෙස මට දැනෙනු ඇතැයි මම විශ්වාස කරමි.

ඇතැම් විට ඔබටත් එය එසේ සිතෙනු ඇත. ඉතින් එබැවින් මෙසේ එම සිදුවීම අරඹමි. 

" මිනිස්සු පන්සල්, පල්ලි , කෝවිල් , දේවාල මේ හැම තැනටම ගිහින් ප්‍රාර්ථනා කරනවා එක එක දේවල්. හොඳ දේවල් කරලා, කුසල් ලැබෙන, දේව ආශිර්වාද ලැබෙන දේවල් කරල විතරක් නෙමෙයි , එක එක දේවල් තම තමන්ගෙ ආගමට අනුව අදහන ශාස්තෲන්ට පූජා කරලත් මිනිස්සු එක එක දේවල් ප්‍රාර්ථනා කරනව. ඒත් මෙහෙම දෙයක් කරල නම් මේ ලෝකෙ කවුරුත් මුකුත් ප්‍රාර්ථනා කරල නැතුව ඇති.'' 

ඇය තනිවම සිතයි.

" පිං ලැබෙන්නෙ මොනාහරි කාටහරි පූජා කරොත් හෝ දුන්නොත් විතරයි ද ?

නැත්නම් කුසල් ලැබෙන යහපත් දෙයක් කරොත් විතරයි ද ? කුසල් ලැබෙන දෙයක් නොකර යමක් ප්‍රාර්ථනා කරොත් ඒක ඉෂ්ට වෙන්නෙ නැද්ද?'' 

මේ ප්‍රශ්න වලට පිළිතුරු ඇසීමට ඇයට කෙනෙකු නැත.

එම නිසා ඇයම තනිවම එසේ සිතා, ඒ පැන වලට පිළිතුරක් නොලබාම මෙසේ පැතුවාය.....

" අනේ, මං ගොඩාක් ආදරෙන් යහපත් සිතින් කරපු මේ දේ නිසා, මං උපදින හැම භවයකම සංගීතය පිරුණු තැනක ඉපදෙන්න ඕනෙ...සංගීතය හදාරන්න ලැබෙන්න ඕනේ විතරක් නෙමෙයි, සංගීතය ජීවිතය වූ කෙනෙකු ලෙස මතු භවයක මා ඉපදේවා!.... ඒ විතරක් ම නෙමෙයි, ඒ හැම ආතමයකදීම, මට ඇවැසි හැම මොහොතකම, මා අසා සිටින්නට හැකි ලෙස මාගේ ප්‍රියයන්ට අවස්ථාව ලැබේවා....''

ඒ ඇගේ ප්‍රාර්ථනාවන් විය....

එහෙත් ඒ සා ප්‍රාර්ථනාවක් කිරීමට තරම් ඈ කුමක් කළේද ? 

සිනිඳු හදවතක් ඇති පුංචි ගැහැණු ළමයාගේ ඒ පැතුම හුදෙක් ප්‍රාණවාචියෙකු උදෙසා දුන් දෙයක් නිසා හෝ, ආගමානුකූලව සිදු කළ දෙයක් නිසා හෝ පැතූ දෙයක් නොවේ.

ඈ අද කළේ එකම දෙයකි........

මේ ඒ ගැන ඇගේ මතකයෙන් බිඳක්...!

" මං ඉස්කෝලේ ආසා කරන තැනකට කියල තිබ්බ එකම තැනයි තිබ්බෙ. ඒ තමයි සංගීත කාමරේ. ඉස්සර මං මෙහෙට ආව මුල් දවස් වල ඉඳලාම වගේ එතනට මං ආසයි. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි මං එතෙන්ට ආස වුණේ, හැම උදේකම සංගීත කාමරෙන් ඇහෙන ලස්සන ස්වර රටා, ගායන වාදන නිසා සහ, ආදරණීය මල් පොකුරකට වඩා ලස්සන ට හදට පෙනෙන සංගීත භාණ්ඩ පිරුණු, මේස පුටු නැති, හොඳ ට හුළං එන, ඉඩ තියෙන, නිස්කලංක, නිදහසේ ඉන්න පුළුවන් තැනක් නිසයි මම එතැනට ඉස්සර ඉඳලම ආස වුණේ.... 

ඊටපස්සෙ ටික කාලයක් යනකොට, එතන හිටපු සංගීත ගුරුතුමී නිසා සංගීත කාමරේට තිබ්බ ආසාව තවත් වැඩි වුණා....ඒත් ඒ සංගීත ගුරුතුමී වෙනත් ඉස්කෝලෙක වෙනත් සංගීත කාමරයකට ගියාට පස්සෙ, මං ආපහු කවමදාකවත් සංගීත කාමරේට යන්නෙ නෑ කියල මම හිතුවා.....ඇත්තටම මම ඊටපස්සෙ කවදාවත් එහෙ ගියෙ නැහැ. ඉස්සර ඉඳලා, හැමදාම උදේට එහෙ දුවන මම ටීච ගියාට පස්සෙ එහෙ ගිහින් තිබ්බෙ නෑ. ඒත් එක දවසක, එතනට ඇවිත් හිටිය අලුත් සංගීත ගුරුතුමි අහම්බෙන් මඟදි මුණ ගැහිලා කීවා මට දොරේ යතුර දීලා, ඇය එනකල් ගිහින් නංගිලාට දොර ඇරල දීලා එන්න කියල. 

එදා තමයි මම ආපහු සංගීත කාමරේට ගියෙ.....

එතැන ලස්සනට පිළිවෙලට අස් කරලා තිබුණා. කාලෙකින් එහෙ නොගිය මට එදා හුඟක් ලොකු නිදහස් බවක් දැනුණා.....

දොර ඇරලා දීලා ආපහු යන්න කලින් ජනේලෙ ළඟ ඉදන් ඈතින් එන හුළං වල සැහැල්ලු බව දැනී යන්නට හැර අහස දිහා බලාන ඉන්න වෙලාවක ආපහු අලුත් සංගීත ගුරුතුමී ආවා.......මට එහෙදි හම්බවුණ මගේ ආදරණීය ටීච හෙවත් කලින් සංගීත ගුරුතුමී ඉන්න කාලෙ ඉඳලම අහන්නම ඕනෙ වෙලා තිබුණ, එහෙත් අහන්න වෙලාවක් ලැබිලා නැති නිසා නො ඇසූ ප්‍රශ්නයක් මම අන්තිමට දවසක් දෙකක් විතරක් කතා කරල තියෙන, අලුත් සංගීත ගුරුතුමී ගෙන් ඇහුවා. අඩුම තරමේ අන්තිම මාස ටිකේවත් මං බලාපොරොත්තු වෙන නිදහස් බව සහ හදට දැනිය යුතු සුවය මං මා වෙතම දිය යුතු නිසයි මම එහෙම ඇහුවේ......

" ටීච, මම මට පුළුවන් වෙලාවල් වලට විතරක් මෙතනට ඇවිත් පාඩම් කරාට කමක් නැද්ද ටීච ? '' 

මට ටීචගෙන් හරි ලස්සන, ගොඩාක් සතුටුදායක පිළිතුරක් ලැබුණා. පහුවදාම මම එහෙ ආපහු ගියා....මං වැඩ කර කර ඉන්නවා දකිනකොට මට මේසයක් හොයල දෙන්න ටීච ට උවමනා වුණත් එදා මේසයක් හොයා ගන්න ලැබුණේ නැහැ....'' 

ඇය කියයි...

ඊට කම් නැත. මේසයක් ලැබීමෙන් ඈ ලබන පහසුවට වඩා සුවයක් ඈ සංගීත කාමරයේ හිඳීමෙන් පමණක් වුව ඈ ලබන බව ඕ මට කීවාය......

එදින සහ ඊට දින කිහිපයකටම පෙර සිට ගුරුතුමී හට උවමනා වූ ප්‍රධානතම දෙයක් වූ බවත්, ඈ පාසල හැරී ගෙදර විත් ඒ සඳහා අවැසි වූ ද්‍රව්‍යයන් ද ඈගේ බෑගයට දමාගෙන පසුදා පාසල්‍ යන්නට සූදානම් වූ බවත් ඈ පැවසීය....

" අද උදේම මං මගේ වැඩේ පටන් ගත්තා. බෑග් එකෙන් එළියට ගත්ත තිනර් බෝතලෙන් හෙමින් හෙමින් තිනර් දැම්මා මං ගෙනිච්ච ස්පොන්ජ් එකට. ඊටපස්සෙ රෙදි කෑල්ලත් බෑග් එකෙන් අරන් ඒකෙන් රවුමට රවුමට පිහ දදා තිනර් දදා, ඔක්කොම කලු පාට, අලු පාට,නිල් පාට, තද, පරණ පෑන් ඉරි මම මකලා දැම්මා....ආයේ ආයේ තිනර් දදා පැල්ලම් ඔක්කොම ටික මකලා දැම්මා...

" රජෝ හරණං රජෝ හරණං... '' ගාථාවත් මට මතක් වුණා.

මිනිස්සු අත් පිරිසිදු කරන්නයි සැනටයිසර් ගන්නෙ. ඒත් අන්තිමට මම සැනටයිසර් බෝතලෙත් අරන් ස්පොන්ජ් එකට දැම්මා....ඔක්කොම පාට ඉරි ටික තිනර් වලින් මකලා ඉවර වෙලා සැනටයිසර් කළාම ඉතුරු වුණ අඳුරු පාටවල් ඔක්කොම යනවා.....

මං ඒක කර කර ඉන්න අතර තුර 7.45 ට විතර ටීච ආවා....මං ඒක කරන හැටි ටීච බලාගෙනත් හිටියා....ඊටපස්සෙ ටීච ආපහු චුට්ටකින් අනික් කාමරේට ගියා වැඩ වලට. ඒ අතර තුර මම අට යි දහය විතර වෙනකොට ඔක්කොම ටික කරලා මගේ වැඩේ ඉවර කරල තිබ්බා......දැන් හරි ලස්සනයි ! 

සුදු පාටට දිලිසෙනවා සුදු ලෑල්ල..... 'අපේ හිතත් ඒ වගේ' නේදැ'යි මට මතක් වුණා. තව එක දෙයක් කරන්න තියෙනවා. සුදු ලෑල්ල උඩ තැනකින් තියන්න ඕනේ.....ටීචටත් නොකියාම පහළට ගිය මට, මගේ ආදරණීය පුංචි යාලුවෝ ටික හොයා ගන්න පුළුවන් වුණා. 

මගේ මහජන සම්බන්ධතා වැඩත් එක්ක මට ඉස්සර හම්බවුණ හොඳම අනුගාමිකයො ටිකක්. 

ඒ මගේ යාලු නංගිලා. 

" නංගි බබාලා, මට චූටි උදව්වක් ඕනේ.''

"හරි අක්කේ, අපි එන්නම්''.....

මේස ටික තියෙන තැනින් එයාලාව තියලා, මම ගියා අවසර අරන් එන්න තැන් තුනකට විතර.අදාල මිස්ලා තුන් දෙනෙක්වම දැනුවත් කරාට පස්සේ, මේස දෙක ගන්න පුළුවන් වුණා....

" අක්කා ඉන්න, අපි දෙන්නා ගෙනියන්නම්'' 

අනේ ඒ ආදරේට කොහොමද මං ස්තුති කරන්නෙ? පඩිපෙළ තුනම නැගගෙන මේස දෙක ගෙනාවා. 

දඩ බඩ ගාණ සද්දෙ ඇහුණ නිසා මියුසික් ටීච ඒ මොකක්ද වෙන්නෙ කියල එහා පැත්තෙ ඉඳන් මෙහෙ බලනවත් අපි දැක්කා.... 

මං ලස්සන කරපු ලස්සනම ලස්සන සුදු ලෑල්ල, උස මේස දෙක පිහදාලා ඒ උඩින් අපි තිබ්බා.... දැන් නම් හරිම අගෙයි....

නංගිලා දෙන්නට පැණි කජු අරන් දෙන්න එයාලා දෙන්නත් එක්කම මම කැන්ටින් ගියා...

" අනේ තැන්ක් යූ අක්කෙ. අක්කත් ගන්න කෑල්ලක්....''

" නෑ නංගි පැටියෝ කමක් නෑ .... මේ ඔක්කොම ඔයාලට. එක්කො මම එකක් ගන්නම් එහෙනම්.....

ඉතින් ඔයාලට ගොඩාක් ස්තුති නංගියෝ....ඇත්තටම ගොඩාක් ස්තුති.....මං දැන් යනවා, අපි පස්සෙ හම්බෙමූ .......''

කජු කෑල්ල කන්න කලින්, දූවිලියි , තින්තයි , තිනරුයි ඔක්කොම ගෑවුණ අත් හෝදගන්න මම ගියා.....ඒ තරම් දැවිල්ලක් අත තුවාල වුණාම වත් දැනෙන්නෙ නැතුව ඇති....

මිරිස් ගෑවිලා වගේ අත් දෙකම දැවීල්ලයී......තිනර් ගෑවිලා අත් දෙක රතූම රතු වෙලා... සබන් දාලා දාලා ගොඩාක් වෙලා යනකල් වතුරට අල්ලගෙන ඉඳලා මං අත් හෝද ගත්තා...ඊටපස්සෙ අත් දෙකට පිඹ පිඹ ආයේ වතුරට දදා දැවිල්ල එන එක නවත්ත ගත්තා....

ඒත් හොඳටම හරි ගියෙ නෑ.....

අත් දෙක කොච්චර දැවිල්ල වුණත් හද පුරා පිරිල තිබ්බ ලොකූ සතුටකින් මං ආපහු මට පුරුදු තණකොළ බිස්ස දිගේ ඇවිදගෙන, පඩිපෙළ නැඟලා උඩට ගියා.....දොර ළඟ ඉඳල බලනකොට දැන් හරි ලස්සනයි . 

ටීචට ඕනෙ විදියට උසට, සුදට ලස්සන ට බැබළි බැබළි තියෙනවා සුදු ලෑල්ල.....

හුඟක් හුළං එන, අව්ව එන්නෙ නැති කවුලුව ළඟින් ම මමත් මේසයක් දා ගත්තා, පුටුවක් එක්කම....!  අද ඉඳන් මං වැඩ කරන අලුත්ම තැන එතන.මං ඉස්සර ඉඳන් ගොඩාක් ආස වුණ, මගේ නොවන ඒත් මගේම තැන....! 

අද ටීච අර සුදු ලෑල්ලෙ සතුටින් ලියන වාරයක් වාරයක් ගාණේ මට ලොකූ සතුටක්, පුදුමාකාර සතුටක් දැනුණා.....ඒ දිහා බලන් හිටියත් මගේ හිත පිරෙන තරම්ම සතුටක් මට දැනුණා.....

ඒ සතුට එක්කම අද දවසෙම 1.30 වෙනකල්ම මම එතන ඉඳන් වැඩ කළා....පාඩම් දෙකක්ම ඉවර කළා, ප්‍රශ්නත් කළා.....

ඒ ඉන්න වෙලාවේ ඇහෙන සාර ස්වරයි, ගීතයි, වාදනයි, කවුලුවෙන් හැම වෙලාවෙම එන හීනි හුළඟයි, එළියයි, ඔක්කොම එක්ක හිත පිරීලා තිබුණා.....මල් ආසන එහෙම සුද්ද කරලා මිනිස්සු ප්‍රාර්ථනා කරන දේවල් එක්ක, මගේ ප්‍රාර්ථනාව හරි විකාර රූපී දෙයක් වගේ අහන දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් .ඒත්, පුංචි හිතකින්, පුංචි දෙයක් කරල, ඒ නිසා අනික් අය ගොඩාක් සතුටු වෙනවා බලලා ඊටත් වඩා සතුටු වුණ මම එහෙම පුංචි ප්‍රාර්ථනාවක් කරපු එක විහිළුවක් වගේ අනික් අයට හිතෙන්න පුළුවන් .ඒත් මං ඒ ප්‍රාර්ථනාව කරේ හදවතින්ම ඇත්තටම.....

" රජෝ හරණං රජෝ හරණං'' ඒ කතාව ආයෙ මට මතක් වෙනව.

රවුමට රවුමට ලෑල්ල පිහදාපු හැටිත් ඒක සුදු වී ගෙන එනකොට මට හිනාවක් ආව හැටිත් මට මතක් වෙනව.

උසට තියෙන නිසා සහ පැහැදිලි නිසා, දැන් ළමයිට ලස්සන ට පැහැදිලි ව ලියන ඔක්කොම පේනවා...ටීචට ත් ආසාවෙන් ලස්සන ට ලියන්න පුළුවන් .ඈතටත් ලස්සනයි .

ඉතින් ඊටවඩා සතුටක් මට කොහෙන්ද ? මේ ඔක්කොම නිසා අද මට සෑහෙන සතුටුයි....අද දවස පිරුණු, ලස්සන දවසක්!......ඉස්කෝලේ ඇරිල යන්න කලින් 'අද මට හරි සතුටුයි ටීච'' කියල, ඒ ටීච ට කියන්නත් මට හිතුණා . ඒත්, ඒක නොකියාම මම හදවතින්ම ගොඩාක් සතුටු වුණා ........'' 

පුංචි දෙයකට මේ සා විසල් සන්තෘප්තියක් පුද්ගල මනසට දිය හැකි බව මා වටහා ගත්තේ ඈ පැවසූ ඒ කතාවෙනි...

සැබැවින්ම , අද ඇයට සුන්දර දිනක් විය....ප්‍රීතිමත් දින වනාහී,මතක රැඳුණු තැන්‍ ය.

ඇගේ ප්‍රාර්ථනය නැවත මෙහි අවසානය ට ලිවීමට ඇවසි නැති වුවද, වෙනත් යමක් සටහන් කිරීම මැනැවැයි සිතෙයි.

ඇගේ පැතුම ඉටු වූවොත්, 

" අසා ඉන්නට බෙදා ගන්නට කිසිවෙකුත් කන් නොදුන් හින්දා,

සමහරක් සවි අතුත් ඉඳහිට ගැළවිලා මහ පොළොව සිම්බා''.....

යැයි,එසේ කීමට කෙදිනකවත් ඈ හට නොවුවමනා වේ......

ඉතින් එබැවින්,

" හෙටත් උදෑසනක් වඩී '' යැයි මා ලියමින් පවතින ග්‍රන්ථයට එක් වන අහිංසකම කතාව මෙය වනු ඇත.........❤

සුදෝ සුදු කවි මෙන්,

සුදු ලෑල්ලද, 

මහද නිවයි..... 

සිත සනසයි..... 


පසුව ලියමි. >>>

මා ආගමක් ලෙස අදහන්නේ සංගීතය පමණි. ඉතින් එබැවින් මා කල ක්‍රියාව, මාගේ ආගමට අනුව, මල් ආසනයක් පවිත්‍ර කළා හා සමාන නොවෙද ? 

පවසන්න දෙවියනි, එය එසේ නොවෙද ? 


Written by, 

🌿 SE. KA 

23/7/21 

#Thebeautifuldays....

Comments

  1. 🤍කවදමහරි දවසක ඔයාගෙ හීන හැම එකක්ම ඒ විදියටම ඉටු වෙයි !♥️

    ReplyDelete

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !