මානව මළගම හා හෙට දවස

 අපි හැමෝම දන්න ගොඩක් දේවල් තියෙනවා.

 ඒ අතර ඔබත් මමත් නොදන්න තවත් බොහෝ දේ තියෙනවා. 

ඒ හැම දෙයක් තුළම ඔබට තවමත් නොවැටහුණු දෙයක්, 

ඇතැම් විට සොබාදහමට වැටහෙන්න පුළුවන්. 

සොබාදහමේ අපූර්වතම නිර්මාණය මානවයා.

 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 

මිනිසා වනාහී සොබාදහමේ මහා අගනා නිපැයුමක්.

 ඒත් සොබාදහමට වැටහුණා, 

මිනිසා කියන්නේ සොබාදහමට වැරදුණ සත්ත්වයෙක් කියලා.

 ඒ සත්ත්වයා අද්විතීයයි.

 මානවයා වනාහී මිහිපිට සුන්දරම නිර්මාණය වුණත්,

 එ් බව තේරුම්  ගන්න බොහෝ දෙනා ප්‍රමාද වුණා.

ඔබ වගේම මමත් මනුෂ්‍යයෙක්. 

මම වඩාත්ම  ප්‍රිය කරන විෂය මනුසත් බව.

 මානවයා හැදෑරීම වනාහී, 

හෙට මලක් වනු පිණිස කටු පඳුර සිඹින්නා සේය. 

මනුෂ්‍යයා මේ ලෝකෙට ඉපදෙන්නෙ ඇයි කියන ප්‍රශ්නයට 

අපිට නිශ්චිත පිළිතුරක් දෙන්නට බැහැ.

 ඒ තමයි ලෝක ස්වභාවය, හැබැයි, 

අපි මේ ලෝකෙට ඉපදුණාට පසුව කුමක් කළ යුතුද ?  

යන ප්‍රශ්නෙට පිළිතුරු ගණනාවක් තියෙන්න පුළුවන්. 

ඒ හැම පිළිතුරකම සැඟවුණ එක් පණිවිඩයක් තිබෙනවා.

 ඒ තමයි, ඔබත් මමත් ඉපදෙන මොහොතෙ 

මේ ලෝකය තිබෙන ආකාරයට වඩා වෙනස් අයුරින්, 

යහපත් ලෝකයක් හෙට දවසේදී නිර්මාණය කිරීම. 

අපි හැමෝම ඒ වගකීමට බැඳී සිටිනවා. 

ඒ වගකීම, යුතුකම ඔබේම යහපත වෙනුවෙන්.

කුමාරතුංග මුණිදාස සූරීන් 

වරෙක මෙලෙස රචනා කළෙත්

 ඔබටත් මටත් ඒ පණිවුඩය දෙන්න.

“ ලොවට උපන්නේ පුතැ නුඹ යම් කිසිවක් පිණිසයැ සුබ”

ලෝකයේ හා සමාජයේ සිදුවන දුස්සමාහිත ක්‍රියාවන්

ඔබේත්, මගේත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵල බව අප මතක තබා ගත යුතුයි.

අපිට ඒ දේවල් වෙනුවෙන් කා දෙසට හෝ ඇඟිලි දිගු කර චෝදනා කිරීමට නොහැකියි.

මන්ද; ඔබ දෙසට, මා දෙසට, තව ඇඟිලි සතරක් හැරෙන බව අප සිහිතබා ගත යුතු වෙමු. 

ලෝකයේ ඉපදුණු නිසා ජීවත්වෙන දනන් අපට හැමදාම හමුවෙනවා.

සත්ව ලෝකය තුල සෑම සත්ත්වයෙක්ම එහෙමයි. 

ඒත් අපත් එසේ විය යුතුද?

අප අපේ මේ උසස් බුද්ධියෙන් 

ප්‍රයෝජන නොගැනීම මහා අපරාධයක්.

තම තමාගේ නිසි වගකීම 

ඉටු නොකරන මිනිසුන් උසස් වන්නේ නැත. 

නමුත් අප දකින්නේ එවැනි සමාජයක්...

වසල සූත්‍රයේදී කියැවෙන, 

'මනුෂ්‍යයා උපතින් බ්‍රහ්මයෙක් හෝ වසලයෙක් නොවෙයි '

කියන සමාජ ධර්මතාවක් තුළ ජීවත්වෙන අපි, 

හින්දු අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ තුළ ආර්යයෙක් සිටියි,

 යන සංකල්පයක් දන්න අපි,

ඊළාම්, සලාම්, සකාත්, සවුම්, හජ් යන පංචස්ථම්භය තුළ

යහපත් මනුෂ්‍යයා ජීවත්වෙනවා කියන අපි, 

සහෝදරයාට ප්‍රේම කිරීම උතුම්ම සංකල්පය විදිහට දකිනා අපි,

මංමුළා වෙලා කොහේදෝ යනවා. 

ගොඩාක් දුර... 


එබැවින් මේ සමාජය වෙනස් කරලා 

ඔබටත්, මටත්,

අපි හැමෝටම ලස්සන හෙටක් නිර්මාණය කිරීමේ වගකීම 

අපි හැමෝටම අයිතියි, කිසිම භේදයක් නැතුව.

කුමන සමාජ ස්ථරයක ඔබත් මමත් හිටියත්, 

අප හැමෝටම උපතින්ම උරුම වුණු 

ඒ වගකීම අප ඉටු කළ  යුතුයි.

මේ සමාජය ලෝකයා වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් 

වැඩ කරන සමාජයක් බවට පත් කරන්න  අප වෙහෙසිය යුතුමයි. 

අපි වෙනුවෙන් ශක්තියක් පැමිණෙන තුරු,

නායකයෙක් හෝ යම්කිසි පුද්ගලයෙක් ඒ වෙනුවෙන් අප මෙහෙයවා, 

අපට සමෘද්ධිමත් ලොවක් තනා දෙනතුරු අප බලන් සිටිනවා.

 නමුත් එසේ නොවිය යුතුයි.

කවුරුන් මත හෝ නොයැපී, 

නොයදිමින් අප අපේ වගකීම නිසි අයුරින් ඉෂ්ඨ කළවිට

 ඔබත් මමත් ඒ අපේක්ෂා කරන සමාජය අපට ලැබේවි නිතැතින්ම. 

ඒත් දැන් තියෙන ගැටලුව අප එය තේරුම් නොගැනීමයි.

අප ජීවත් වන මේ ලාංකේය සමාජය, 

වසර සිය දහස් ගණනක 

සංස්කෘතික හා සමාජයීය අත්දැකීම් අනුසාරයෙන් 

ගොඩනැගුණු පරිසරයක්. 

අපිට අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා, එය සත්‍යයක්.

නමුත් අපි හැමදාමත් ගෞරවනීය ඉතිහාසයක් ගැන කතා කරමින්

අනාගතය අමතක කලා 

අපට මඟහැරුන දෙයක් තියෙනවා 

අපි හැමදාම ප්‍රෞඪ ඉතිහාසයක් ගැන සිහි කර කර

අතීතාවර්ජනය කරමින්,

වර්තමානයේ අතීතය මත යැපෙමින්,

අනාගතය සැලසුම් කිරීමෙන් තොරව ජීවත්වුණා...

ඒ අත්තනෝමතික සිතුවිල්ල 

මේ වන විට මේ ලෝකය නැති කරන තරමට ඇවිත්...

අපි කතා කියමින් ජීවත්වෙන ජාතියක් බවට පත් වෙලා...

මේ රටේ සිද්ධ වෙන සියලුම දේවල් වලට අනුන්ගෙන් යදිමින්

ජීවත්වෙන ජාතියක් බවට පත්වෙලා...

මෙය සරල කාරණයක් නෙමෙයි.

අපි කැමති වුණත් නැතත් 

ඔබත් මමත් සියල්ලන්ම යදින්නන්...

මේක තමයි ඇත්ත. මේ කටුක ඇත්ත අපි තේරුම් ගත යුතුයි.

අපි මොනතරම් වැරදි කරනවාද, 

මොනතරම් දීන මිනිස්සු කොටසක් ද?

කියන කාරණය තේරුම් නොගන්නා තාක්,

අපිට මේ තත්වයෙන් මිදෙන්න බැහැ.

අප ආකල්ප දියුණු ශක්තිමත් මිනිස් ප්‍රජාවක් ලෙස වර්ධනය විය යුතුයි...

අපි දැන් පටන්ගත යුතුයි 

මේ  ක්‍රියාදාමය...

අපි,

ලඝු ගණක වගු අතර නිතරම මනස රඳවලා,

සෘජුකෝණ කුලකවල අපේ සමාජය ප්‍රස්තාර කළා...

චක්‍ර, රටා මැද,

හොඳ නරක කැබලි කරලා ඉරලා දැම්මා...

ජීවිතේ ඝණ ඵලය තුනී වුණ යුගයක,

මිනිස්කම දශම වුණ අවිනීත පරිධියක, 

ඔබත් මමත් තරඟයක දිව්වා...

වර්තමාන සමාජය අපි අපේක්ෂා කරන සමාජයද?

ඔබ කියාවි ‘නැහැ’ කියලා.

ඒත් අපි බොහෝ දෙනෙක් වැඩ කරන්නෙ අපි

අපේක්ෂා කරන සමාජය වෙනුවෙන්ද?

මෙය පැහැදිලි ප්‍රශ්නයක්...

සත්‍ය ලෙසම අපි වැඩි දෙනෙක් කරන්නෙ, 

අපි බලාපොරොත්තු නොවන සමාජය නිර්මාණය කිරීම.

බලන්න අපිම මේ යහපත් සමාජය අයහපත් 

තත්වයට පත් කරනවා.

අපිම ඒ වෙනස් කරපු අයහපත් තත්වය හෙළා දකිනවා.

මොකක්ද මේ අපි කරන්නෙ?

අපි අපේ මේ දෙබිඩි පැවැත්ම අවබෝධ කර ගත යුතුයි.

එහෙම නැත්නම් අපිට හැමදාම ජීවත්වෙන්න

වෙන්නෙ, මේ ජරා ජීර්ණ සමාජය තුළ...

අපිට වගේම අපේ ඊළඟ පරම්පරාවටත් මේ 

සමාජයේ ගොදුරු බවට පත් වෙන්න වේවි...

මෙය අපි සිහිතබාගත යුතු වෙමු.

මේ තත්වය අපි හිතනවාට වඩා සංකීර්ණයි.

ඒ වගේම අපි හිතනවාට වඩා වෙනස්.

මම අහලා තියෙනවා ලස්සන සමාජයක් ගැන...

ඔබත් එහෙමයි...

අපිට තිබුණා ගහකොළත් එක්ක බැඳුණු ජීවිත...

අපිට තිබුනා සොබාදහමට ආදරය කරන්න හදවතක්..

ඒත් මානවයා මිරිඟුවක් හඹා ගියා...

දුවලා දුවලා හති වැටිලා ඔබත් මමත්

එකම මංසලක ගිමන් හරිනවා...

‘මට හරි මහන්සියි වතුර ටිකක් දෙන්න...’

ඔබත් මෙහෙම ඉල්ලන දවසක් ඒවි...

සහෘදයිනි මේ මහා විනාසයක මුල විතරයි..

ඔබට පෙනෙනවාට වැඩිය මෙය බරපතලයි...

මගේ මේ වෑයමත්, යහපත් සිතුවිල්ලක්

සහිත මිනිසෙකු මේ සමාජයට බිහිකිරීම තුළින්,

අපි අපේක්ෂා කරන ලස්සන සමාජය

බිහිවණු දැකීම.

අපි හැමෝම මමත්වය නම් විෂ අබිං කෑ 

සත්ත්වයන්...

සටකපට ලෝ දිය ගඟෙන් උපන් මිතුරු උණුසුම

අතට අත දිගු කරන්නේ කුරුමානම් පාමින්...

එවන් යුගයක,

සොබාදහමේ වැරදුණු නිපැයුම නම් මේ මිනිසා,

තවමත් අඳුරේ අතපත ගාමින් දුකම අහර කොට

දිවි ගෙවයි...

ඔබත්, මමත්

මුහුද ගොඩගලනවා දැක්කා,

ටයර් සෑයවල් රජයන මාවත් දැක්කා...

මිනී මරණ භීෂණයක් දැක්කා...

තිස් වසරක යුද්ධයක් දැක්කා...

කුරිරු අමානුෂික දුදනන් පවුල් පිටින්

කපා කොටනවා දැක්කා.

ගම් පිටින් නාය යනවා දැක්කා..

මුළු සේසතම ගංවතුරෙ ගහගෙන යනවා දැක්කා..

මහා නියං වලින් පීඩා වින්ඳා...

කුණු කඳු යට මිනිස්සු යටවෙනවා දැක්කා...

ආගමේ නාමයෙන් මිනිස්සු මරනවා දැක්කා... 

ශුද්ධ භූමි ලේ විලක් වෙනවා දැක්කා...

 ලෝක යුද්ධවල ගිනි ඇවිලෙනවා දැක්කා...

නියඟයක් නිසා මිනිස්සු මැරුවා...

ආගම් වාදයෙන් සත්තු මැරුවා...

දෙවියන් නිසා සංහාර කළා...

දෙවියන් මුදලට විකිණුවා...

සල්ලි වලට සියල්ල පාවා දුන්නා...

මිනිසත්කම මුදලට යට කළා...

කෘෘර කපටි  මිනිස්සු නොමරා මැරුවා...

මේ අතර සියල්ල ලබාගත් කුරිරු දනන් දැක්කා...

හැමදේම අහිමිවුණු පොඩිවුණු මිනිස්සු දැක්කා...

මේ හැමදේම අතරේ රෝ බිය, සොර සතුරු බිය,

දුර්භික්ෂ නිසා පාළුවුණු ගම් දැක්කා...

ඒත් තවමත් හැදෙන්නෙ නැති දනන් 

මිහිපිට කල්ගෙවුණු දකින්නට තරම්

අවාසනාව කිමද?

කුවණ්ණාගේ පටන් පාවාදුන්

මිනිස්සු තවමත් අපි අතර...

මිනිසා මල සේ සුවඳයි කිව්වට,

ඒ පෙර බෝ වසරකට පෙර…

අපි විසින්ම අප දෑතේ ලේ

තවරාගත් කල කවර නම් සුවඳක් ද?

ඔබත් මමත් අප

සියල්ලන්ම මිනිස්සු

මිනිසත් බව උතුම්ම ගුණයක් ලෙස සිතමින්,

ඉගෙනුම උසස්ම දෙවියන් ලෙස දකිමින්,

ආදරය පරම සුවයක් ලෙස විඳිමින්,

නිරෝගී බවේ පරම ලාභය දකිමින්,

සතුට පරම ධනය ලෙස විඳිමින්,

සොබාදහමේ පරම සුන්දරත්වය දකිමින්

ඔබටත් මටත් දිවි ගෙවන්නට

හැකි නම් අපේ හෙට දවස ලස්සන වේවි...

මීට වසර බිලියන ගණනකට පෙර

පෘථිවිය නම් වූ සොඳුරු ලොවක් නිර්මාණය වී

ඒ මත ඔබත් මමත් ඇතුළු සමස්ත

මානව වර්ගයා බිහිවන්නට ඇති...

විසිඑක්වන සියවස තුළ ඔබත් මමත් ලබාගත් 

ජයග්‍රහණ හමුවේ අප උජාරුවෙන් කතා කළා...

අප බොහෝම ආඩම්බරයෙන් අසීමීත

තෘප්තියකින්, මමත්වයෙන් වාසය කළා...

දිය, ගොඩ, අහස තිදස සරමින් අප 

දියත ජයගත්තා...

මෙලොව පමණක් නම් කිම්ද?

අප විශ්වය ජයගත්තා...

දුර ඈත සක්වල කරා දිවෙන

සිතුවිලි අපේ මනසේ පිරිලා තිබුණා...

අපටම ආවේණික දියුණු තාක්ෂණය,

අපව ඉහළින් ඔසවා තැබුවා...

මුළු ලෝකයක්, සමස්ත මානවයා

පොළවට අඩියක් ඉහළින් හිටියේ...

සිහින සැණකෙළියක් තුළ ඔබත් මමත්

මේ තාක් දිවි ගෙව්වා...

අපි බොහොම ආඩම්බරයෙන් සිනාසුණා...

නීල වලා සිප සිප ඉහළට දිවෙන කුළුණු

මිහිමත පිරී ඉතිරී ගියා...

විසිහතර පැයකට අප සීමා වුණේ නැහැ...

දිනකට උපරිමයෙන් ඔබත් මමත් කැපවුණා...

මුළු දවසම ඔබට මට පැවරුණු රාජකාරි තිබුණා...

ඒ අතර දන්නවද?

 ඔබට මට බොහෝ දේ මඟහැරුනා...

අපිට අපව අමතක වුණා...

පාට පාට ලස්සන දිලිසෙන වාහනවල

අධිවේගී පථයක ඔබත් මමත් ජීවිත තරගයක ධාවනය කළා

අපේ ලස්සන ලෝකය ඉක්මවා ඔබත් මමත්

විශ්වය තරණය කළා...

දින සති මාස පුරාවට දූෂිත වායු 

කුළුණු වලින් පැන දිව්වා,

නිල් අහස හැඬුවා...

වළාකුළු වලට රිදවලා, කෘතිම වැසි

අපි වැස්සුවා...

හුස්ම පොද දෙන තුරුලිය කපලා

වන සංහාර කළා...

හැබැයි අපි ගොඩාක් දුර, ලස්සන ගමනක් ආවා...

ගමනාන්තයක් නැතුව අපි තවමත් දුවනවා...

පළවෙනියා වෙන්න හැමෝම කරට කර

තර‌‌ඟෙට දුවනවා...

ඒ ගමන පුරාවටම අපි ඇස්වලට දැක්කෙ

මහා අපූර්වත්වයක්...

ඔය අතර හදවත හෙමිහිට නැවතිලා

අපි ආපු ගමන දෙස හැරිලා බැලුවා...

එහෙම නේද?

අපි ආපු මේ දුර දිහා නැවත හැරිලා බලමු,

ඔබටත් මටත් ඒ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න, මිදෙන්න

බැහැ...

ඒ පාර පුරාවටම තිබුණෙ දූෂිත මනුසත්ත්වයාගෙ

කුණු තැවරුණු කිලිටි බව...

අහිංසක මිනිස්සු මරලා ලබාගත් අධිරාජ්‍යයන් වල

සතුට දිලිසුණේ අහිංසක ලේ මත...

දහස් ගණන් යුධ වැදිලා මේ පොළොව අපවිත්‍ර වෙලා.

ඒ කුලුණු ඉඳිවෙලා සතුට රජකලේ,

ලෝ දිය කඳ සේ පැහි පැහි මිරිකෙන

පීඩිතයන්ගේ දහදිය මුතු කඳුළු මත...

ජීවයේ ලෝහිත නදී, පුබුදුවා මිහිලිය,

ගලන්නේ, සෝ ගී ගංඟාවන්ය...

මිනිස් සතා ගොඩාක් දුර ගමනක් ආවා,

මිනිසත්කම මුදලට යට කරලා, හදවත පාගාගෙන.

ඒ බව තවමත් මිනිස් සතා වටහාගෙන නැහැ...


By semini kavindya Danthanarayana 

Comments

  1. මිනිසා කියන සත්වයා..මේ හති දාගෙන දුවන තරගය..කොතනින් නවතීද? හිතා ගන්න බැ......
    මිරිගුවක් පස්සෙ දුවන මිනිසුන් අතර කලාතුරකින් හමුවන එක් නිහතමානි දියනියක්..සහෝදරියක්...මිතුරියක්..
    ඔබේ අදහස් විශිෂ්ටයි...





    S.nayakarathna

    ReplyDelete
  2. හදවතට දැනුනු වදන් පෙළක් 🥺❤️

    ReplyDelete

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !