හෙට මලක් වනු පිණිස...
ගැළපෙන වර්ණත් එක්ක
ගැළපෙන ඇඳුම් ඇන්දාම
මතුවන ලස්සන ජීවිතයේ නැහැ...
නොගැළපීම් ගැළපීම් කරගෙන ජීවත් වන තාක්
ජීවිතය සුන්දර වේවි...
අපි ජීවිතය පටන් ගන්නෙ ආදරයෙන්,
සෙනෙහසින්...
අපි ජීවත් වන විටත් මිය යන විටත්
ඒ ආදරය එලෙසින්ම තිබෙනවාද යන්න
ගැටළුවක්...
ප්‍රසූතාගාරයත් ආදාහනාගාරයත් අතර
ගමනෙදි අපිට විවිධ මාවත් පසු කරන්න
වෙනවා...
හැබැයි, ඒ හැම දෙයක්ම අප විසින්
ගොඩනගා ගන්නා දේවල්...
ජීවිතය කටුපඳුරක් ලෙස දකින සමහරු
අතර ඒ කටුමත පිපි මල් දකින
මිනිසුන් ද සිටිනවා...
ඒ නිසා ජීවිතය දුක්ඛිත බවට පත්වීමත්
සුඛිත මුදිත කර ගැනීමත් අප සතුයි..
දෛවය සහ ජීවිතය හිස් පොතක්
ලෙසම දකින්න,එවිට
එහි කතුවරයා ඔබ වේවි.
ඔබේ ජීවිත කතාවට වටිනාකමක් දෙන්න පුළුවන් ඔබටමයි...
අප සමාජය තුළ ජීවත් වනවිට,
අප සාර්ථකත්වය හඹා යනවා...
සාර්ථක ජීවිතයක් හඹා යනවා...
නමුත් එක් අතකට ඒ හඹා යෑම,
අසාර්ථක බවට පදනමක්...
වර්තමානය වනවිට, මුදල් මත පදනම් වූ
සාර්ථකත්වය අපි හඹා යන්නෙමු,
නමුත් මුදලට මිලදී ගත නොහැකි
දේ ළඟ අප අසරණ වනවා...
ආදරය, ගෞරවය, වටිනාකම්, චරිතය,
විශ්වාසය, ආකල්ප, සෙනෙහස,
සංවේදී බව අසල අප තනි වෙනවා...
මුදල් මත පදනම් වුණු ජීවිත,
කෙදිනක හෝ තේරුම් ගනීවි,
රනින් බැඳි ඔරලෝසුව පැළඳියද,
අඩු මිලට ඔරලෝසුවක් පැළඳියද,
ගත වන කාලය වෙනස් කළ නොහැකි බව...
ඔවුන් තවදුරටත් තේරුම් ගනීවි,
වර්ග අඩි පනහක ජීවත් වුවද, වර්ග අඩි
පන්සියයක ජීවත් වුවත් තමා හුදකලා වී ඇති බව...
අවසානයේ ඔවුන් වටහා ගනීවි,
මුදල් යනු ජීවිතය නොවන බව...
සියක් දේ රැස්කර,
නිරුවත් දෑස් හැර,
හිස් අතින් හැරයන
අපූරු නවාතැන ජීවිතයයි...
ජීවිතය තුළ ජීවත්වෙන
උතුම් මිනිසුන් අපි...
සඳක් ඇතැම් විට, අහස හඬන විට,
අඳුර දී පැනයයි, අමාවකට...
මලක් ඇතැම්විට කටු අත්තට
හැඩ නොදී මිලිනව වැටී යයි...
නමුත් අපිට එහෙම වෙන්නට බැහැ...
උතුම් මිනිසුන් ලෙස ජීවත් වනවිට,
අපිට එලෙස ජීවිතයෙන් පැන යන්නට
නොහැකියි...
සඳ, හිරු බැස ගියද, මල්
මුකුලිත වුවද, අප ඊට අනුගත
නොවිය යුතුයි...
ඔබ සිතනවා අහසට පොළව දුරබව...
ඔබ හිතනවා අහස පොළවට සබඳතා
නැති බව...
අහසට පොළොව වගේ යන කියමන,
ඔබ වරදවා වටහාගෙන ඇති...
වෙනත් කෝණයකින් බැලූ කළ අහසට පොළව වගේ
වනාහී මහා සබඳතාවක්...
මන්ද අහසෙන් ලැබෙන අව්වෙන් වැස්සෙන්
පොළව ජීවත් වෙනවා...
හුස්ම ගන්නවා...
ජීවිතයත් ඒ වගේ... පොළෝ තලයට
අහස දුර නැති බව සිතන්න...
එවිට ඒ දිවිය තවත් මනරම් වේවි...
ඔබ ජීවත්වන විට විවිධ අත්දැකීම් අනුසාරයෙන්
ඒ දිවිය පෝෂණය වන්නට ඇති...
නිදි වර්ජිතව දුටු සිහිනයක රස
පුළුන් රොදක තිබූ ළිප අයිනෙක සැර
තැනූ මඩුවක වූ අස්ථිර බව වෙරළක,
සැඩ නියඟයක,ගංවතුරක වූ විපත,
සිනහ ලොවක වූ කඳුලක දුක ,
අඳුරු ලොවක,පහනක් වූ එළිය
එකී මෙකී බොහෝ සිතුවිලි, සිදුවීම් වල
රස ඔබේ දිවියේ ගැල්වී තිබෙනු ඇති...
පවිත්‍රත්වය, සතුට, සොම්නස උකසට තැබූ ජීවිත
අතර ඒ මතින් ජීවිතේ සන්තෘෂ්ටිය විඳින,
හඹායන ජීවිතත් අපට හමුවෙනවා...
මුදලට සතුට උකසට නොතබා ජීවිතේ
විඳින්නට හැකිනම් එය අපරිමිත තෘප්තියක් බව
ඔබට වැටහෙන දිනයක් ඒවි...
දින පොතේ නොලීවට,
අඬන, හිනැහෙන මිනිස්සු,
එළියට නොපෙන්නුවට,
හැඟීම් දැනෙන මිනිස්සු,
මතක පොත්, සමරු සටහන් නොතිබුණාට,
මතකයේ රැඳුණු මිනිස්සු
ආදරෙයි නොකිව්වාට, ආදරෙන්
බැඳුණු මිනිස්සු,
හදවත නතර නොවුණාට
මැරී මැරී ජීවත් වෙන මිනිස්සු,
අපේ ජීවිතේ, අපිට ඕනෑතරම්
හමුවෙනවා නිරතුරුව...
ඒ හැම මොහොතකම,
ඔබේත් මගේත් ජීවිතයට නව එළියක්
එක්කර ගන්නට අපට හැකිනම්,
ජීවිතය සුන්දර වේවි...
භාෂා පාට පෙට්ටියෙන් ජීවිතය වර්ණ
ගල්වමින්, සිනහවෙන් කතාවෙන්
ලබැඳි බව කියාදෙමින්
ඔවුන්ගේ හදට සිසිලක්ව හමන්නට
අප ජීවිතය හැඩගසා ගත යුතුයි...
ඉවත දැමූ කඩදාසියක් ලෙස අතීතය
ගැන නොසිතා,
පුවත්පතක් බඳු වර්තමානය,
අවබෝධයෙන් කියවා,
ප්‍රශ්න පත්‍රයක් වූ අනාගතයට
බුද්ධිමත්ව පිළිතුරු ලියන කළ,
ජීවිතය නමැති විභාගය ජය ගත
හැකිවේ...
අඳුරට ශාප කරමින්
ආලෝකයට ආවඩමින්
යමෙකු දිවි ගෙවයිද, හේ
නිතැතින්ම නිසරු බව, අතෘප්තියම
සොයා වෙහෙසයි...
ජීවිතයේ ,
අඳුර අරමුණු නොකර, ආලෝකය මැදිහත්ව විඳ
දිවි ගමන යන තැනැත්තා,
සුළං රැල්ලක රැඳුණු ජීවිතය සරු
කරගනියි...
ඔබත් මමත් වැහැරුනු, පරණ වස්ත්‍රයක්
අලුතෙන් සකසමින්, වර්ණ ගන්වමින්
පවිත්‍ර කරමින්, එයම අරමුණු කරමින්
එය තුළ ජීවත් වෙනවා...
එහෙත් කෙදිනක හෝ දිවිය නිම වූ
දින ඒ වස්ත්‍රය ගලවා නික්මෙනවා...
කය නැමති යානය පදවමින්,
ජීවිතය යැයි අප සිතා සිටින
භෞතික ලෝකය සුන්දර කිරීමෙහිලා
අප්‍රමාණව වෙහෙසන අප, අසමත්වීම්,
දුක් බාධක හමුවේ ජීවිතයෙන් පළා යනවා...
නමුදු යළි යළිත් ඔබත් මමත්,
ඒ මව්කුස දෙකක් අතර දුර දනවන
ජීවිතය සුන්දර කරගන්නට,
අධ්‍යාත්මය පෝෂණය කරන්නට වෙහෙසිය යුතුයි...
ජීවිතය හිස් පොතක් නම් ඔබ විසින් පෙරවදන
ලියා ඇරඹූ එහි නිමාවද ඔබ විසින් මනාව
සටහන් කළ යුතුය...
එවිට එහි පසුවදන මනාව
ප්‍රතිපාදනය වනු ඇත...
එහි කර්තෘ මිය ගියද, නාමය අමරණීය
වනු ඇත...
මන්ද ජීවත් වීම යනු සාර්ථක ජීවිතයෙන්
නොමියෙන ලෙස මියයාම වන බැවිනි...
Comments
Post a Comment
Comments ?