ලස්සනම අකුරු හතර...

 • ආදරය

ආදරය තමයි කෙනෙකුගෙ

ජීවිතේ සිදුවිය හැකි ඉහළම 

සංසිද්ධිය...

එය අපේ හදවත තුළට කාවදිනවා

වගේම,

අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා...

අන්න ඒ නිසාම තමයි,

කවදාවත්ම නොලැබුණත් ඔබත් මමත්

ඒ පිවිතුරු ආදරය පුදකරන්නට 

පෙළ‌‌‌ඹෙන්නෙ...

අප මව්කුස පිළිසිඳගත් දා පටන්ම 

අපට ආදරය හිමිවෙනවා...

හැබැයි අපෙන් ආදරය අන් අයට හිමි වෙනවාද

යන්න ප්‍රශ්නයක්...

හැමෝම ඉපදෙන්නෙ ආදරය ලබමින්...

ආදරය කරන තරමට අලුත් ජීවිත ඉපදෙනවා...

එය ලෝක ධර්මතාවක්...

ආදරය කියන්නේ රාගයෙන් තොර 

පිවිතුරු හැඟීමක්...

අම්මා කෙනෙකු තම දරුවාට කිරි පොවන විට

රාගික සිතුවිලි පහළ වන්නේ නැහැ.

සෙනෙහසයි එතැන දෝරේ ගලන්නේ...

ආදරය මත තමයි මේ ලෝකෙ 

පැවැත්ම රඳා පවතින්නේ...

වචනයේ පරිසමාප්ත අරුතින්ම 

ආදරය කියන්නෙ පරිත්‍යාගය සහ මෛත්‍රිය 

නාරි සුරාවේ වැටී මුළාවී ගිය,

ද්‍රෝහි ස්වාමියා පිළිගත් ළඳක්

පතිනිය...

ආදරය එතරම්ම උතුම්...

ඒ ආදරයට, සෙනෙහසට රාගය

එකතු කළේ අපි...

රාගික ඇසින්, මවක් දරුවට ජීවය

දුන් නාභිය දෙස බැලුවේ අපි...

මෙලොව සුන්දරම ආදර වත

‘යසෝදරාවත...’

උතුම්ම පිවිතුරුම පරිත්‍යාගය,

සෙනෙහස කැටිකොට ගත්,

ළයෙන් වෑහෙන ආදරය තිබුණෙ

එතැන...

අද වන විට සිල්ලර වූ ආදරයක 

පැටලී යොවුන් ජීවිත සිය ගණනක්

මංමුලාවෙලා...

ආදරය ඒකපාර්ශ්‍විකයි...

ආදරය පිරුණු මිනිස්සු එකඟතාවයන් 

සොයන්නේ නැහැ.

ඇත්තටම ආදරය කියන්නේ හදවත

පතුලෙන්ම නැඟී එන පුදුමාකාර හැඟීමක්...

සැබෑ ආදරවන්තයන් ප්‍රතිචාර බලාපොරොත්තු 

වෙන්නෙත් නැහැ. අම්මා, තාත්තා, පුතාලා, දුවලා,

සහෝදර, සහෝදරියන්,

සැමියා, බිරිඳ,

පෙම්වතා, පෙම්වතිය…

මේ විදිහට ආදරය ගොඩනැගෙන 

භූමිකාවන් හරිම වෙනස්...

මේ බොහෝ අවස්ථාවල දෙදෙනාගේ 

එකඟ වීමක් බලාපොරොත්තු වීම විරලයි...

අප, ඔබත්, මමත් ආදරය පමණක් 

දිය යුතුයි...

‘අසල්වැසියාට ප්‍රේම කරන්න’ යන්න අප 

අසා තිබෙනවා...

‘පිය තෙපුලින් සිනහවෙන් අන්අය සනසා 

මෙත් වඩන්න’ යන්න අප අසා තිබෙනවා...

හැබැයි අද වන විට ඔබත්,

මමත් දුටු ඒ පවිත්‍ර ආදරය විරහව ඇවිලුණ

රාග ගින්නකින් දැවී ගිහින්...

ආදරය, සෙනෙහස විකුණා මුදලින් සැනසෙන  සමාජයක,

රාගය බුර බුරා නැගෙනවා...

මනුෂ්‍යයාගේ පූර්ණත්වය ආදරය කිරීමයි

අපි අද පටන්ගමු, පරිත්‍යාග කරන්න,

අපේ සතුට අනෙකා වෙනුවෙන්…

අපේ හදවතේ අනෙකා වෙනුවෙන්,

පුංචි ඉඩක් නිර්මාණය කරන්නට හැකිනම්

ඔබට දැනේවි ජීවිතය කෙතරම් සුන්දරද කියලා...

මමය, මගේය යන හැඟීමෙන් 

තෘෂ්ණාව මූලික කොට හටගත් 

ආදරය නිසා සැමදා විරහව ඉතිරිවේවි...

නිරුවත විකුණා සොයන ‘ආදරය’ යැයි කියන

අසම්මත ආස්වාදයක,

සයිබර් අවකාශය වෙළී ගැළී ගැටෙමින් 

තිබේ...

රුපියල සත වලට, දහස් මුදලට 

කාමරයක අලෙවි වන හිරිමල් කුසුම්,

ආදරයේ නාමයෙන් තැලී පොඩිවී යයි...

බැට්මෑන් රවමින් ඇවිත් මිනිස්සු 

බේරාගන්නා කල, 

ජෝකර් විසින් මිනිස්සු මැරුවෙ සිනා වෙවී...

මේ එවන් යුගයක්...

මේ පිවිතුරු ආදරය සයනකට සීමා 

කරගත් යුගයක්...

මේ ආදර අන්දරය තුළ ඉපිද ඉපිද 

මැරි මැරී දිවිගෙවන පරවුණු කුසුම් 

කෙතෙක් නම් ඇත්ද?

දම්මි, සුගත් සිනාසිසී මෙ දෙස බලා

සිටිනවා ඇතී...

හදවතින් ගලාවිත්, පන්හිඳ අග හිරවෙච්ච

ආදර සුසුමක දැවටුණු කඳුළු

ගීයකින් ගැයෙද්දී,

ඔබේ හදවතේ සියුම් තැන්,

ඉතාමත්ම සියුම්ව ස්පර්ශ කරමින් 

ඔබත් ආදරය විඳිනවා ඇති...

ආදරය නිසා විඳවනවා ඇති...

ප්‍රේමය සුවඳයි හැමදාම...

මන්ද ප්‍රේමය වනාහී,

“දුටු සිහිනෙකි නිදි වර්ජිත,

පුළුන් රොදකි ලිප අයිනෙක...

තැනූ මඩුව ගං වෙරළක,

පහන් සිලකි අඳුරු ලොවට,

ගංවතුරකි මහ නියඟෙට,

මුදුන් මුලකි විස අලයෙක,

එක කඳුලකි සිනහ ලොවක,

සිතුවල්ලකි වෙනස් නොවන, 

එහෙත්,

බැඳීමක්ය හැරදා යන...

ආදරය ලබන්නට වෙහෙස නොවී

ආදරය කරන්නට වෙහෙස වෙන්න...

එවිට ඔබට සදා ආදරය හිමිවේවි...

අප අනෙකා දෙස බලන ස්වරූපය 

වෙනස් කළොත්,

ඒ වෙනස්වීම අපට දැනේවි...

සතුට සොම්නස උකසට තබා,

අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කළ විට

ආදරය ගොඩනැගේවි...

එයයි සත්‍යය.

සිනහව කඳුල අතරින් අනෙකාව 

විනිවිද දකින්න,

පිවිතුරු සෙනෙහසට 

ගෞරවයක් දෙන්න...

එවිට ඔබට දැනේවි,

ජීවිතය කෙතරම් සුන්දරද කියා...

බිළිඳෙකු මෙලොව එළිය දකින්නේ 

ආදරය උරුම කොට,

මිනිසෙකු මෙලොව අතැර මියැදෙන්නේ,

දුකම දායාද කොට...

සතුන්ද එසේයි, ආදරය ලබමින් ඉපිද,

මියැදෙනවා...

අපි පැළ සිටවනවා,

එය ගසක් වී ඵල ලබා දෙන තුරු 

අපි සාත්තු කරනවා, ආදරය කරනවා...

ඒ ආදරය නිසා ලෝකය ලස්සන වෙනවා...

ඒ වගේම ඔබේ ආදරය නොලැබුණු

බොහෝ තැන්වල,

ලොවට විනාශයක් එකතු වෙනවා...


ආදරය අහිමි වූ ජීවිත සුන්දර කළ හැක්කේ 

ආදරය ලබා දීමෙන්ම පමණයි...

ආදරවන්තයින් මියගියද,

සැබෑ ආදරයේ අරුත සදා සුවඳ දෙයි...

පිවිතුරු ස්නේහය අමරණීයයි..

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !