විසල්.......

 ග්‍රීක පුරාවෘතයන්හි දැක්වෙන,අපරාජිත යෝධයකු වූ ඇකිලීස්ට පවා, මෘදු වූත්, මරණිය වේදනා ගෙනදෙන්නා වූත්, ලක්ෂයයක් තම අමරණීය සිරුරෙහි විය. එසේම,

වනස්පතියක වුව එතී යන සුළලිත වැල් ඇත.....

එය, මහගමසේකර සූරීන්, 


" ඕනෑම දැඩි හදවතක්, දයා දියෙන් ආර්ද්‍ර වී කඳුළු සලන මොහොතක් ඇත. එවිට එය අත්ළට ගෙන බලනු මැනව,මේ ලොව අන් කිසිවක් ඒ තරමට සුන්දර නැත....." ලෙස පැවසූ වදනට සමාන නොවෙදැයි මට සිතුණි......


වනස්පතියක එතී ගිය එබඳු ලතාවෙක, ළා දල්ලකින් පිනි පොද ක් සෙමෙන් සැලී, කඳුළක් සේ මිහිකත සිප ගනියි........ 


ලාහුගල වන අරණට පෙමින් බැඳී ඒ අසිරි විඳිමින් යනෙන අතර මඟ, ගුරු අමරදේව තුමන්ගේ මියුරු හඬින් ගැයෙන,

තරු අරුන්දතී ගීය ඇසෙන සුන්දර සන්ධ්‍යාවක් මේ.....

ගීතයේ එක් තැනකින් ඇසෙන මේ කොටස,

"මඟ වනස්පති ලිය ළදල්ලකින්

පිණි පොදක් සෙමෙන් සලනා"............

සවන් වැකුණු විගස, 

මගේ හිත නතර වුණේ වනස්පතී ළඟ.......


වනස්පතියක යනු මහා වෘක්ෂයකි, ප්‍රතාපවත්, ශක්තිමත්, පෞරුෂයෙන් හෙබි, අරෝහ පරිණාහ දේහ දාරී සිරුරින් යුතු, පිරිපුන් මනසකින් යුතු, දැවැන්ත පුරුෂයෙකු සේ, 

වනස්පති, වනයට අධිපතිව වැඩ හිඳී....හේ සැබැවින්ම රුක් සේනාපතියෙකි.

සියලු වෘක්ෂයෝ පරදවා, හේ රාජකීය ලීලාවෙන් සිය ප්‍රතිභාව විදා දක්වන්නේ යැයි මට හැඟේ........

එහෙයින් මහා වනස්පතියක විලස නැඟෙන නුග ගස යනු මාගේ ප්‍රියතම වෘක්ෂයයි....

නුග , වනයට අධිපති රුක් රජෙකි. නමුත් හෘද ස්පර්ශනීය ලෙස දැනෙන ළයාර්ද්‍ර සෙනෙහසක්, සිසිලසක්, නුගයෙන් මම විඳිමි, ඉන් සැනසෙමි.......

නුගයෙහි සෙවණ පවා 

පියෙකුගේ රැකවරණය බඳුය. එමෙන්ම නුගය දර්ශනීයය. නුග ගසෙහි ඇත්තේ විස්මිත ජීව ශක්තියකි. භූමිය කෙතරම් නිසරු වුවද, ගල් තලා සහිත වුවද, එය සියල්ල අභිභවා, සවිමත් ව නැගී සිටී. 


එළිල් වේන්දන් කවියා,

නුගය ගැන මෙසේ ලියා ඇත...


I have no chance of being flexible  

like a plantain tree.

Storms wail to me

that they are unable to uproot me.

My roots are only aerial roots

which are not being closed

allow light to pass through them.

They will soon take root

and stand majestically !


-Banyan Tree by Ezhill Vendhan-


එය කියවූ පසු මම මඳක් නතර වී නුගය ගැන සිතුවෙමි......


"කෙසෙල් ගහක් වගේ නැවෙන්න බැරි උනත් කමක් නැහැ කුණාටුවකට උනත් පෙරලන්න බැරි නම්" 


වේන්දන් මෙලෙස පවසයි, 


අහස දෙසට වැවෙනා මගේ මුල්

පොළොවෙහි යටව නැත.

ගලා යයි ඒවා මැදින් ආලෝකය.

ඒවා පොළොව මත පැළව

නැඟී එනු ඇත මහේශාක්‍ය ලෙස.


නුග ගස් වැනි මිනිසුන් මම දැක ඇත්තෙමි. 

ඔවුන් සැබැවින්ම විසල් නුග තුරු ය !..... නමුත් නුග වන් මිනිසුන් සමාජය තුළ විරලය..... 


" නුග ගස් යට, පොඩි පැළ පැළවෙන්නේ නැතැයි මා අසා ඇති මුත්, ස්වභාව සෞන්දර්යය තුළ කෙසේ වුවද , මිනිස් සමාජය තුළ මම එවන් අවස්ථා පවා දැක ඇත්තෙමි....... නමුත්, 

එලෙස වන්නේ කෙලෙස දැයි මම නොදනිමි....


කෙසේ වුව, නුග යනු, 

මා ප්‍රියතම වෘක්ෂයයි...

නුග ගසක්, සදාදරණීය 

මහා වනස්පතියකි !


බලවත් පරමාණුවක් වන් කුඩා බීජයකින් පැළව, සුවිසල්ව වැඩෙන, හැදී එන නුග ගසකි මෙය !..........


එය මුලිනුපුටනු නොහැකිව

කුණාටු පවා වැලපේය.


හැදී එන නුග ගස්, 

රමණීය වන ලැහැබට 

ප්‍රණීත රස සාගරයකි....

එකී නුගයෙහි රිද්මය,

සදා හදවතින් විඳිමි.....


"හැදී එන නුග ගස්, 

බෝ සේ අසිරිමත් !

විසල් ලෙස වැඩුණත්,

නොවේ නපුරක් කිසිම විටෙකත්....


හැදී එන නුග ගස් 

නොපළඳී රූ වෙස් 

දකින ලොව හරි උස් 

වනස්පතියකි දිනෙන සියවස්......"


24/7/21 

✒️Se.Ka. 🌳 #semini Danthanarayana 




Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !