OMG 2 vs ජයතිලක කම්මැල්ලවීරයන්ගේ ලේ
අනේ දෙවියනේ !
අපට වැසිකිළියක් !
සාහිත්‍යකරණය හා නිර්මාණකරණය ඇත්තේ සැබැවින්ම සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යාමටය. එමෙන්ම යම් මතයක් හෝ නව අදහසක් ජනයා වෙත සම්ප්‍රේෂණය කිරීමට ඖචිත්‍ය වන්නේද නිර්මාණකරණයයි. සිනමාව වනාහී මේ සමාජ කර්තව්‍යය කිරීමට හැකි ප්‍රබලම අවියකි. එය සිදුකිරීමට සමාජය මනාව කියවාගත් අවබෝධයක් තිබිය යුතුය. සමාජ ශෝධන කාර්‍යය සිදු කිරීමට සිනමාව බොහෝ තැන්හී යොදාගත් අවස්ථා ඇති අතර මෙයද එබඳු අවස්ථාවකි. සිනමාපටයක් නැරඹීමෙන් අප ලබන්නාවූ රසයන් අතරින් තවත් වැදගත්ම රසයක් වන්නේ ප්‍රඥා රසයයි.
ගෝලීයකරණ යාන්ත්‍රනය තුළ අප එකිනෙකා අතරමංව සිටින ලෝකයක වුවද පුද්ගලාලම්භන වශයෙන් එකිනෙකට වෙනස් වූද පොදු වූද ගැටලුවලට අපට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් ආගමික භක්තිවාදය මුදුන්පත් වූ රටවල් වලට ඒ හේතුවෙන්ද තවත් විවිධ ගැටලු ඇතිවී යුධමය තත්ත්ව දක්වාද ඒවා වර්ධනය වේ. එමෙන්ම ජන සංස්කෘතිය හා සාම්ප්‍රදායික සංස්කෘතික තත්ත්වයන් හේතුවෙන් ප්‍රකෘතියේ විකෘතකරණයට ලක්ව, ඉන් ඔබ්බට යා ගත නොහී සිරවී සිටින අවස්ථාද එම ගැටලු අතර ඇත. විශේෂයෙන් මුස්ලිම් රටවල් හා ලංකාව,ඉන්දියාව ආදී බහු සංස්කෘතික රටවල්ද ඒ අතර වේ.
සාහිත්‍ය කලා පහළ වනුයේ රටක සමාජීය, සංස්කෘතික, ඓතිහාසික, ආර්ථික ආදි විවිධ බලවේග පසුබිම් කරගෙන ය. නමුදු , බාහිරින් මිනිසා නහවා සුවඳ ගල්වා ගත්ත ද, ඔහුගේ අභ්‍යන්තරය සුවඳවත් කරන්නේ කෙසේද යන ගැටලුව මතුවේ. ඇරිස්ටෝටල් පවසනුයේ සාහිත්‍යයට විෂය විය යුත්තේ සුවිශේෂය නොව සාමාන්‍යය කියාය. සුවිශේෂය යනු පුද්ගලයකුට හෝ වස්තුවකට සුවිශේෂී වූ දෙයකි. කිසියම් පුද්ගලයකු සතු අන් පුද්ගලයන් බහුතරයක් සතු නොවන දෙය සුවිශේෂයයි. පුද්ගල හා සාහිත්‍ය අතර නම් බැඳීමක් නිර්මාණය වන්නේ සුවිශේෂය නිසා නොව මේ සාමාන්‍ය නිසා ය.
බොහෝ ඍෂිවරු, පඬිවරු මේ තත්ත්වය ගැන දැක් වූ අදහස් ඔබ කියවා ඇති බව සැක නැත. භරතමුනි පඬිවරයා කියන්නේ සාමාන්‍ය ගුණ යෝගයෙන් රසය උපදිනවා කියාය. විශ්වනාථ පඬිවරයා “සාධාරණීකරණය’ කියා කීවෙත් මෙයට ම ය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් “පරාරෝපකාය” කියන්නේත් මීට ද සමාන දෙයකටය.මෙකී සාමාන්‍යකරණය තුළින් මතුවන සමාජ යථාර්ථවාදය අලුත් ඇසක් නිර්මාණය කරයි. එය මසැසින් මනැසට යයි. එනිසා,සමාජය තුළ හුදෙකලා වන මිනිසාට අත්වැල සපයන්නේ නිර්මාණකරණයයි.
ජයතිලක කම්මැල්ලවීර සූරීන්ගේ "ලේ '' කෙටි කතා සංග්‍රහය තුළ හා කේ. ජයතිලක සූරීන් ගේ අපට වැසිකිළියක් කෙටිකතාව තුළ එසේ සමාජය තුළ හුදෙකලා වූ සහෘදයා ට අත්වැළ සැපයූ අවස්ථා දක්නට ඇත.
ඒ සාහිත්‍යකරණය තුළ ඇති ග්‍රන්ථකරණයයි. එසේම සිනමා ලෝකය තුළ " PAD MAN '' සහ "Toilet Ek prem katha '' ආදී නිර්මාණ ද ඒ ගණයෙහිම ලා සැලකිය හැකි වන්නේ, සමාජ ශෝධන කාර්‍යයන් ඉන් මැනවින් ඉටුවන බැවිනි. සාමාන්‍යකරණය හරහා විශේෂකරණය වෙත මං තැනීමක් ඉන් සිදුවී ඇත. එමෙන්ම ඒ සියලු කරුණු කාරණා සමඟ කතාබහට ලක්වන මීළඟ නවෝත්පාදනය වන්නේ, " OMG 2 '' සිනමා පටයයි.
Amit Rai අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් වන Omg 2 තිරගත වන්නේ 2023 අගෝස්තු 11 වැනිදාය. දේව භක්තියෙන් අගතැන්පත්, බහු වාර්ගික, බහු සංස්කෘතික රටක් වූ ඉන්දීය සමාජය තුළ ලිංගිකත්වය ගැන මෙසේ කතා කරන පළමු අවස්ථාව මෙය නොවේ. පෙර සඳහන් පරිදී, PAD MAN, TOILET EK PREM KATHA ආදී ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ වෙනත් චිත්‍රපට ද ඉන්දියාවේ නිර්මාණය විය. Omg 2 සිනමාව සාකච්ඡාවට ලක් කරණුයේ නව යොවුන් වියේ ප්‍රධාන ගැටලුවක් සම්බන්ධවයි. එමෙන්ම සමාජය තුළ ලිංගික අධ්‍යාපනයේ ඇති හිඩැස සම්බන්ධවයි. මෙවන් දෙයක් විවෘතව කතාබහට ලක් කරන්නාවූ එම චිත්‍රපටය සඳහා ඉන්දීය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හෙවත් CBFC ය A වර්ගයේ සහතිකයක් නිකුත් කර ඇත.
නමුදු ආක්ෂේ කුමාර් මෙහි සම්පූර්ණයෙන් ශිව දෙවියන්ගේ චරිතය නිරූපණය කරන අවස්ථාව කපා හැර ශිව දෙවිගේ නියෝජිතයෙක් ලෙස පමණක් ඉදිරිපත් වීමට කපන මණ්ඩලය විසින් අවස්ථාව සලසා ඇත.
ශිව භූමිකාව කෙසේ වුවද නිර්මාණය හරහා සමාජය මැනවින් සිත්තම් කර ඇති බව පෙනේ. පාසල් පද්ධතිය , අධ්‍යාපන ක්‍රමය , සංස්කෘතිය, වෙනස් වන ලෝකය, පවුල් ඒකකය හා සමාජය ආදී මේ සියලු තැන්හි ඇති හිස්තැන් වෙත මනාව පණිවිඩය එල්ල කරමින් නිවැරැදි දිශානතියකට නිවැරැදි චින්තනය ජනගත කිරීමට නිර්මාණකරුවා කටයුතු කර ඇත.
ලංකාව, ඉන්දියාව ආදී ආසියාතික රටවල් වල සමාජය තුළ බොහෝ වැඩිහිටියන් හැසිරෙනුයේ ඔවුන් ප්‍රභාසංස්ලේෂණයෙන් මිහිපිටට පතිත වූ සෙයිනි. නව යොවුන් දරුවන් මෙන්ම තරුණ , මැදි වයස්, වැඩිහිටි , මහලු ආදී ඕනෑම වයසක සිටින පුද්ගලයන් එසේය. තම තමන්ට කොතෙක් ගැටලු තිබුණද ඒවා නිරාකරණය ට මැළි වෙති. එමෙන්ම එම ගැටලු වලට පිළිතුරක් ලබා ගැනීමට හැක්කේ කෙසේද යන්න ඔවුන්ට නිසි අවබෝධයක් නැත.
මේ නිසාම නොදැනුවත් භාවය නිසා සහ වැරදි අවබෝධය නිසා බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන පිරිසද දිනෙන් දින වැඩිවේ. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, අපයෝජන, ඝාතන, ළමා මව්වරු, පාසල් හැරයාම්, ආදී බොහෝ සමාජ ගැටලු මෙන්ම ඒ නිසා ඇති වන ආර්ථික හා සෞඛ්‍යමය ගැටලු ද දිනෙන් දින උද්ගත වේ. ලිංගිකත්වය හෝ එම ස්වභාවික ප්‍රකෘති තත්ත්වය සහ ක්‍රියාවලිය සැඟවූ පමණින් සමාජ ප්‍රශ්න අඩු වන්නේ නැත. රටක් ලෙස පසුගාමී වීමට හේතු සැකසීම පමණක් එයින් සිදුවේ.
හය ශ්‍රේණියේදී ප්‍රජනනය පාඩම සෞඛ්‍ය විෂයේදී ඉගැන්වීමට පටන් ගන්නා නමුදු එය නිවැරැදි ලෙස ඉගැන්වීම කරන්නේ අතළොස්සකි. මන්ද ගුරු භූමිකාව තුළ ද මේ සම්බන්ධව විවෘතව කතා කිරීමට තරම් ශක්තියක් ගොඩ නැඟී නැති බැවින් සහ සදාචාරාත්මක ලෙස බාධා ඇති බැවිනි. Omg 2 චිත්‍රපටය තුළ ද විද්‍යා ගුරුවරයා ගෙන් විවේක් නම් එම සිසුවා ප්‍රශ්නයක් නැඟූ කල ඔහු බැණවදිමින් එතැනින් ඉවත් වීම දක්නට ලැබේ. අප සමාජය තුළ මෙය සඟවන ලද මාතෘකාවකි. සමාජයක පැවැත්ම හා දියුණුව රඳා පවතින අත්‍යාවශ්‍යම අංගයක කතා බහට දොරගුළු ලා සමාජය බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදනිමි. එසේම විකෘත ලෙස මේ මාතෘකාවම ජීවිතය කරගනිමින් විකෘති තත්ත්වයන් පසුපස හඹා ගොස් විනාශ මුඛයට ළං වන්නේ ඇයිද කියා හෝ නොදනිමි.
ජයතිලක කම්මැල්ලවීරයන්ගේ ලේ, රැකවල්කරුවෝ,හාමිනේ සහ හාමිනා යනාදී කෙටිකතා වලින් සිදුවූ සමාජ ආමන්ත්‍රණය ඉතා උසස් ය. එහි සමාජ හිස්තැන් ඉතා මැනවින් දක්වා ඇත. OMG 2 හි දැක්වෙනුයේ "හිස්තැනකින් පටන් ගමු'' යන පණිවිඩයයි. මනෝවිද්‍යාත්මක පදනමකින් ගත් කළ OMG 2 හීන් නූලෙන් කළ වැඩක් බඳුය. එය සැබැවින්ම මනෝවිද්‍යාත්මක න්‍යායයන් උපයෝගීකොට රචිතය. ආගමික භක්තිවාදය සහ දේවවාදය මේ සිනමාවට එක් කරන්නේ දේවවාදය අගයමිනි. දෙවියන් ඇගයීම හා මෙහි අසාධාරණයට ලක්වන දරුවාට දෙවියන් පිහිටවීම මඟින් ඉන්දියාව වැනි දෙවියන් මුල් කරගත් සමාජ තලයකට අවශ්‍ය නිසි පණිවිඩය ගෙනයාම පහසුය.
Omg මුල් චිත්‍රපටය දේවවාදය බැහැර කළ අතර එයින් වූ අසාර්ථක බව මඟහරවා ගෙන මෙය නිර්මාණය වූ බව පෙනේ. මෙයින් දෙවියන් සෑම විටම අප ළඟයි යන විශ්වාසය ගැබ්වූ පණිවිඩ ජනගත වෙයි. එමෙන්ම ලිංගිකත්වය පිළිබඳව ඍජුව කතාබහට ලක්වීම මෙන්ම අවධානයට ලක්වීමද ගැරහීමකින් තොරව ගෙනයන වාහකය බවට දෙවියන් පත්ව ඇත. එමනිසා මෙහි දේව භූමිකාව සැබෑ විද්‍යාත්මක කාර්‍යභාරයක් ඉටු කර ඇත. ලිංගිකත්වය තුළ මතුවන ගැටලු වලින් සැබෑවටම අපහසුතාවන්ට ලක්වන්නේ දරුවන්ය. දරුවන් ගේ නොදැනුවත්කම මත වැඩිහිටියන් විසින් ඔවුන් ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට ගොදුරු කර ගන්නේද දරුවන්ය. සියල්ලට පෙර දරුවන් සිටී යැයි කීවද සමාජය තුළ එය එසේ නැත. විශේෂයෙන් පාසල තුළ බොහෝ හිංසනයන්ට හා නොයෙක් ගැටලු වලට දරුවන් මුහුණ දෙයි. එමෙන්ම වැඩිහිටියන් ගේ අනවබෝධය නිසා දරුවන් මානසිකව වැටෙන අවස්ථා ද ඇත. බොහෝ බාලක පාසල් වල සහ බාලිකා පාසල්වල පවා සමාජයෙන් සඟවන ලද විවිධ ගැටලු ඇත. මිශ්‍ර පාසලක පවා වැසිකිලියේ බිත්ති මත ලියා ඇති දේවල් මඟින් සමාජයේ ඇති හිස්තැන සැබැවින්ම අවබෝධ වේ. දරුවන් පමණක් නොව තරුණ භික්ෂූන් පවා පිළිතුරු නැති බොහෝ ගැටලු වල සිරවී සිටිති. වයස් භේදයකින් තොරව සමස්ත සමාජය කෙරෙහි මේ තත්ත්වය දැන් බලපා ඇත.
ලෝකයේ සංඛ්‍යාලේඛන වාර්තා අනුව ශ්‍රී ලංකාව sex යන වචනය ගූගල් හි සෙවූ රටවල් වල ප්‍රථම ස්ථානය හොබවයි. ඉන්දියාව 3 වන ස්ථානයේ පසුවෙයි. Porn hub නරඹන ඉන්දීය ප්‍රජාව අතරින් 30 % ක් කාන්තාවන් බව තහවුරු වී ඇත. එමෙන්ම මෙරට පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය නිකුත් කළ වාර්තා වලට අනුව , මේ වසරේ මුල් මාස නවය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ, ළමා දූෂණ ඇතුළු ස්ත්‍රී දූෂණ 1500කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ මුල් මාස නවයට සාපේක්ෂව ස්ත්‍රී දූෂණවල වැඩිවීමකි.
මේ වසරේ සැප්තැම්බර් 30 වන විට ස්ත්‍රී දූෂණ 190 ක්, ව්‍යවස්ථාපිත දූෂණ 1,021 ක් සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 1,021 ක් සහ 264 ක් ලෙස ස්ත්‍රී දූෂණ 199 ක්, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 951 ක් (දැරියගේ කැමැත්තට අඩු වයසින් අඩු ලිංගික ක්‍රියාකාරකම්) සහ ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් 273 ක් වාර්තා වී ඇත. පසුගිය වසරේ එම කාලසීමාව තුළ ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් වාර්තා විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, පසුගිය වසරේ පොලිසියට වාර්තා වී ඇති සමස්ත ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 250ක් බවත්, පසුගිය වසරේ පමණක් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 1,382ක් වාර්තා වී ඇති බවත්ය. වාර්තා වූ ප්‍රමාණය පමණක් අප දන්නා අතර වාර්තා නොවී රහසේම සැඟව ගිය දේ කොපමණ ඇතිද....?මේ බණ කියන බණ අහන රටකි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත අනුව පසුගිය වසරේ කොවිඩ් අතර තුර රටේ සිදුවූ දරු උපත්වලින් බාල වයස්කාර මවුවරුන් ගේ ප්‍රතිශතය තවම අවසන් නැති වූවත් වසර 2020 සංඛ්‍යා දත්ත හා සමාන බව ඔවුන්ගේ අනුමානයයි. 2020 දී රටේ ජනගහනය 22,034,594කි. දහසකට සිදුවූ උපත් අනුපාතය 15.1කි. ඒ උපත්වලින් සියයට 4.1ක් ළමා මවුවරුය. තේරෙන ඉලක්කමින් කිවහොත් කටේ කිරි සුඳවඳ නොගිය දරුපැටවු ඇතුළු දරුවන් 13642ක් පමණ මවුවරුන් වී ඇත.
ලෝකයේ දත්ත සැකසීම් වලට අනුව දූෂණ වාර්තා වීම මත ශ්‍රී ලංකාව 61 වන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව 94 වන ස්ථානය හොබවයි.
නමුත් සෞදි අරාබිය, ඕමාන් ආදී රටවල ඇත්තේ අවම සංඛ්‍යාලේඛන වාර්තා වීමකි. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් නිකුත් කරන ලද කැළඹිලි සහගත සංඛ්‍යාලේඛනවලින් හෙළි වූයේ ඔක්තෝබර් මාසයේ ළමා දූෂණ සිද්ධීන්වල කම්පන සහගත වැඩිවීමකි.එම වාර්තාවට අනුව වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 131 දෙනෙකු මෙම කාලය තුළ ලිංගික අතවරවලට ගොදුරු වී ඇත. ඉන් 10 දෙනෙකු මේ වන විට ගැබ් ගෙන ඇති බවද සැප්තැම්බර් මස ළමා ගැබ් ගැනීම් 22 ක් වාර්තා වී ඇති බවද එහි දැක්වේ.මෙය මෙරට තත්ත්වය වුවද අඩු වැඩි වශයෙන් අනෙක් රටවල් තුළ ද විශේෂයෙන් ඉන්දියාවේද එබඳු තත්ත්වයක් උද්ගත වී ඇත. මින් සංවර්ධනය සඳහා වන ඉඩ අවකාශය ඇහිරී තිබේ. රටක සංවර්ධනය අඩාල වීමට ලිංගිකත්වය පිළිබඳ අනවබෝධයද බරපතළ ලෙස හේතුවේ.
නමුත් ඉන්දියාව අද වන විට 2035 - 45 වන විට මේ තත්ත්වය වෙනස් වූ සමාජයක් නිර්මාණය කිරීමේ පදනම සකසමින් සිටියි. ඉන්දියාව මේ සිදු කරන්නේ සංවර්ධනය සඳහා වූ සන්නිවේදනයයි. ඔවුන් ඒ සඳහා
සිනමාව යොදාගෙන ඇත. OMG 2 චිත්‍රපටයේ පණිවිඩය ගෙන යන වාහකය බවට ඔවුන් දෙවියන් පත් කරගෙන ඇත. දෙවියන් ගෙන යන්නේ සංවර්ධනීය සන්නිවේදනයේ පණිවිඩයයි. ඉන්දීය සමාජය තුළ ඉහළම ස්ථානය හොබවන දේවත්වය නැමැති සංකල්පය හා කතා කිරීම පවා ලජ්ජා සහගත කාරණයක් ලෙස දකින ලිංගිකත්වය යන කුලක දෙක ඡේදනය කරමින් ඒ ද්විත්වය එකට කිරීමට ඔවුන් සිනමාව යොදාගෙන ඇත. චන්ද්‍රයාන් මඟින් ලොව ජයගත් ඉන්දියානුවෝ දේවත්වය බැහැර කළේ නැත. එමෙන්ම භෞතික ලෝකය තුළ ඇති සමාජ ප්‍රශ්න ජය ගැනීමේදී ද ඔවුන් දේවත්වය බැහැර නොකර එය ආශිර්වාදයක්ම පමණක් සේ සලකා තම ගැටලු ජය ගනු ඇත. කාම සූත්‍ර ලියූ වාත්ස්‍යායන උපන් රට, කජුරාහෝ හි ප්‍රසිද්ධ පිළිම නෙළා ඇති රට, තව දුරටත් ප්‍රෝඩාවක් හමුවේ ලිංගිකත්වය වසන් කරමින් සමාජ ගැටලු උත්සන්න කරගැනීමට තරම් අඥානමූලික නොවනු ඇත. Omg 2 චිත්‍රපටය ඔවුන්ගේ සංවර්ධනයේ මීළඟ පියවරේ දෘෂ්ටිය නාභිගත කර ඇත.
ඉන්දියාව නිදහස ලබා අදට වසර 76 කි. අපට 75 කි. නමුත් මිත්‍ර රටවල් දෙකක් ලෙස අප අහසට පොළොව බඳුය. මේ වසර 75 තුළ එක දිස්ත්‍රික්ක ය බැගින් සංවර්ධනය කළද දිස්ත්‍රික්ක 25 සම්පූර්ණ කර ගත හැකිව තිබුණි.
අප 1948 සිට දින 27,000 ක් අද වන විට අපතේ යවා ඇත.OMG 2 වැනි චිත්‍රපටයක් මෙරටෙහි බිහි වූයේ නම් එයට මෙහි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලැබේවිද ?
චිත්‍රපටයකට තබා හතේ අපේ පොත හෝ නිසි ලෙස ජනගත කර ගත නොහැකි වූ රටක අපි වෙසෙමු. හතේ අපේ පොත සම්බන්ධව පසුගිය සමයේ මෙරට භික්ෂූන් සහ විවිධ ගිහි පිරිස මහ හඬින් සිය විරුද්ධත්වය ප්‍රකාශ කළහ. ලිංගික අධ්‍යාපනයට එරෙහිව විරුද්ධ වන ඔවුන් ලිංගික අපචාර , අතවර හෝ හිරිහැර වලට එසේ හඬ නගන්නේ නැත. නමුත් හතේ අපේ පොත ජනගත කිරීමට ගත් උත්සහයේ දෝෂ සහගත තැන් එමටය. එමෙන්ම ඒ සඳහා සහභාගි වූ අයගේ ද බොහෝ වියතිරේක ඇත. පොතට වඩා ඒ තැන්හී මුල් වූයේ එම පුද්ගල චරිත ලක්ෂණ වේ. එම නිසා එක් අතකට සැබැවින්ම එම පොත සම්බන්ධ සාකච්ඡා අදූරදර්ශී සහ ඵල රහිත කාලය නාස්ති කිරීමක් හා එකල, පුවත් මැවීමක් පමණක් විය.
කායික මානසික හිංසනයට ලක්වන දරුවන් ගේ අනාගතය ගැන ඒ කිසිවකු හඬ නගන්නේ නැත. ලංකාව යනු අනීතික රටක් බවට මේ වන විට පත්ව හමාරය.
ඒ ඒ අයගේ උවමනා එපාකම් වලට තීන්දු නැමෙන නිසි තීන්දුවක් අධ්‍යාපනය සම්බන්ධව හෝ ගත නොහැකි රටක අපි වෙසෙමු. කෙසේ වුවද ලිංගික අධ්‍යාපනයේ හිඩැස නිසා උද්ගත වී ඇති සමාජ ගැටලු වලට පිළිතුරු සෙවීමට කිසිඳු ආගමික නායකයෙකු සැබෑ ජීවිතයේ දී එන්නේ නැත. මෙම චිත්‍රපටයේ සිටින විවේක් නම් දරුවාගේ පියාට හා විවේක්ට පිහිට වීමට ආ ශිව දෙවියන්ගේ දූතයා සැබෑ ජීවිතයේ දී හමු වන්නේ නැත. නමුත් සැබෑ ලෝකය තුළ සැබෑ ලිංගික අධ්‍යාපනය තුළින් ලබන අවබෝධය නිසා බොහෝ ජීවිත ආරක්ෂා වනු ඇත. ගැහැණු පිරිමි සහ වයස් භේදයකින් තොරව සමස්ත ජනයාටම ලිංගිකත්වය යනු ප්‍රෙහේලිකාවක් වන මට්ටමට සමාජය පත්ව තිබුණද නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ එය බොහෝ දුරට පහව ගොස් ඇත. නමුදු මේ නිසා විවිධ වැරදි පෙළඹවීම්,අත්හදා බැලීම් සහ ඇබ්බැහි වීම් වලට යොමු වී කොතෙක් නම් ජීවිත විනාශ වනවා ඇත්ද?........
අධ්‍යාපනයේ වෙනසක් තුළින් මේ සියලු තත්ත්ව මඟහරවා ගත හැකි නොවෙද ?
සදාචාර සම්පන්න, ශිෂ්ටසම්පන්න, විනයගරුක සමාජයක් බිහි කළ හැක්කේ නිවැරැදි අවබෝධය ලබා දීමෙන්ම පමණි. එය මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයකි. කුහුල/කුතුහලය/දුර්ලභත්වය නැමැති අබිං වලට ගොදුරු වී නොදැනුවත්කම හමුවේ විනාශ වීමට වඩා දැනුවත් භාවය වැදගත් ය.
" නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ'' යැයි කීවට අද සාමාන්‍ය සමාජයේ ජනයා නීතිය කොතැනින් නම් ඉගෙන ගන්න ද ? එසේම "ලිංගිකත්වය පිළිබඳ අනවබෝධය ද නිදහසට කරුණක් නොවේ '' යැයි සිතා සිටියද ඒ ගැන කොතැනින් ඉගෙන ගන්නදැ'යි යන්න ගැටලුවකි. සමාජයේ ඇති සාමාන්‍ය තත්ත්වයක් පිළිබඳව ඉගෙන ගැනීමට ඉඩ සැලසීම කොටින්ම හතේ අපේ පොත ජනගත කිරීම "ළමුන් නරක් කිරීමකි'' ලෙස දුටු මහා උගතුන් හොඳ ළමුන් නරක ළමුන් ලෙස ළමයින් වර්ග කරන්නේ ලිංගිකත්වය පිළිබඳ ඇති අවබෝධය හෝ අනවබෝධය මත ද ?
වසන් කළ යුතු සාමාන්‍ය දේ ගමටම අඬබෙර ගසා මහා ඉහළින් පවසන, වසන් නොකර කතා කළ යුතු හා අවබෝධය ලැබිය යුතු දේ අසාමාන්‍යයක් සේ දැක ඒවා සඟවා ප්‍රතික්ෂේප කරන අමුතුම පන්නයේ ජීවීන් කොටසක් මෙරටෙහි වෙසෙන බව පසක් වී ඇත. නැත්නම් හතේ අපේ පොත ට අකමැති මව්පියන් තම දියණිය ගේ වැඩිවිය පැමිණීම මංගල්‍යයක් කොට ප්‍රදේශයේ සියලු දෙනාටම ආරාධනා කර උත්සවශ්‍රීයෙන් සමරන්නේ මන්ද ?......
බොහෝ විට දියණිය හෝ මේ කුමක් සිදු වූයේ දැයි නොදන්නවා විය හැක. සැබැවින්ම දරුවකු පිළිසිඳ ගැනීම සහ ඊට අදාල සියලු කාරණා උසස් පෙළ ජීව විද්‍යාව හදාරන අය පමණක් දැනගත යුතු කරණු නොවේ. මන්ද අනෙක් සියලු අයද සමාජය තුළ ජීවත් වන බැවිනි. ස්ත්‍රී පුරුෂ ගෞරවය පවා එකිනෙකා කෙරෙහි ඇති වීමට මේ අනෝන්‍ය අවබෝධය වැදගත් ය.
අද සමාජය තුළ පවා තම බිරිඳ ගේ ඔසප් වීම යනු කුමක් දැයි නොදන්නා බොහෝ උගත් සැමියන් සිටිති.
එපමණක් නොව ඒ ඒ අයගේ ශාරීරික පිහිටීම හෝ ස්වභාවය මෙන්ම කායික මානසික අවශ්‍යතා පිළිබඳ නොදත් පවුල් පන්සල් වූ අය සිටිති. කතා කළ නොහැකි, නමුත් කතා කළ යුතු දේ සඟවමින් අතෘප්තිකර ජීවිත ගත කරමින්, ඒ අසහනය හා පීඩනය අන්‍යයන් මඟින් සංසිඳුවා ගන්නා අය සිටිති. එමෙන්ම ඔවුන්ගේ පෞද්ගලික ගැටලු නිසා පාසල් වල, රැකියා ස්ථානයේ හා නිවසේ සාමාජිකයන් පවා විවිධ ලෙස අඩත්තේට්ටම් වලට ලක්වන අවස්ථා ද ඇත. මෙසේ සමාජයේ ඉහළම ස්ථානයේ සිට පහළම භූමිකාව දක්වාම මේ ගැටලුව සෑමතැනකටම බලපා ඇත. මේ නිසා රටක සමාජ, ආර්ථික , සංස්කෘතික යන සියලු අංශ පිරිහෙමින් පවතී.
මේ තත්ත්වය ඉන්දියාව වෙනස් කරනු ඇත. නමුදු ලංකාව චිත්‍රපටය පමණක් බලා නිහඬව සිටිනු ඇත.
OMG 2 යනු සැබැවින්ම කාලෝචිත මාතෘකාවකි. සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යයි. මේ හරහා වන සමාජ ආමන්ත්‍රණය ඉතා උසස් ය. දෙවියන් සැබෑ ලෙසම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනු ඇත........
විවේක් ගේ පියා මෙන් පියවරු සෑම දරුවෙකුටම නැත. නමුත් විවේක් ගේ පාසල මෙන් බොහෝ පාසල් ලංකාවේ ද ඇත. එමෙන්ම විවේක් බඳු තවත් ළමුන් සිය දහස් ගණන් සමාජයේ සිටිනු ඇත. අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට ඇති බලවත්ම ආයුධය බවට නෙල්සන් මැන්ඩෙලා සඳහන් කළ කරුණ මට සිහිවිය. සැබැවින්ම සමාජය වෙනස් කිරීම්ට නම් හා, අප අපේක්ෂා කරන යහපත් සමාජයක් ගොඩ නැඟීමට නම් නිවැරැදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති විය යුතුය.
ළමා මව්වරුන් , ළමා පියවරුන් නැති, ළමයා සුරක්ෂිත වූ සමාජයක් බිහි කිරීමට හැකි වූ දිනට පමණක් මෙයට ධර්මද්වීපයක් යැයි කිව හැක. නැත්නම් "ධර්මාධිකරණයට කැඳවීමි ස්වාමීනි මෑ''............ ලෙස සෑම නඩුවාරයකදීම කෑ ගසා කීවත් ඵලක් නැත......
OMG 2 නරඹා සැබැවින්ම "අනේ මගේ දෙවියනේ'' ලෙස පවසා හිස් අහස දෙස බලා සිටීමට ලක් වැසියන්ට සිදුවන අතර, ඉන්දියානුවෝ හෙට සිට සිය ඉදිරි ගමන ආරම්භ කරනු ඇත......
මනුෂ්‍යයින් ප්‍රභාසංස්ලේෂණය නොකරති !
අධ්‍යාපනයේ හිස්තැන් වැසීමට නිසි බලධරයෝ කටයුතු කරන දිනය වැඩි ඈතක නොවේවා!
දෑස් විවර වේවා.
ළමයින් දිනේවා!
OMG 2 වෙත මාගේ උත්තමාචාරය පිරිනමමි......
සටහන: ✒️🤝සේමිණි දන්තනාරායන
( මා මමය - ✨Ego sum qui sum ) 2023/11/17
#OMG2
#UNICEF
#SRILANKA
#UN
#INDIANFILMS
#INDIA









Comments
Post a Comment
Comments ?