හද පිපි මල්....🌻

✨විස්මයකි කාලය විසල්........✨

මාගේ පාසල් දිවියෙහි 2013 වසරේ 4 ශ්‍රේණියේ සිට මේ දක්වාම මම පාසල් ත්‍යාග ප්‍රදානෝත්සව සඳහා සහභාගි වී ඇත්තෙමි. මේ කතාව කාලය මැවූ වෙනසකම් රැසක් සහිත ත්‍යාග ප්‍රදානෝත්සවයක් සම්බන්ධව ය. 

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තුළ සිටින සමයේ ත්‍යාග ලාභී ශිෂ්‍යාවක ලෙස ඉතා කුඩා කළ මා සිටින කළ මා සිහින මැවූයේ වේදිකාව මත සිටින අයෙකු විය යුතුය කියාය. පසුව මඳක් ඉහළ ශ්‍රේණි වෙත ආ කළ එහි නිවේදන කටයුතු කළ යුතු යැයි සිත් විය. එම ආශාව කල් යත්ම තව තවත් වැඩි වූවා පමණි....

මම පාසලේ ප්‍රධාන අවස්ථාවන්හී සභාව ආමන්ත්‍රණය කර තිබුණද, බොහෝ අවස්ථාවන් හී නිවේදන කටයුතු කර තිබුණද, පාසල් වර්ණ ප්‍රදානෝත්සවය පවා සිදු කළද, කිසිඳු දිනක ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිවේදන කටයුතු සිදු කර නැත. මා 9 ශ්‍රේණියේ සිටින කළ මා ආසක්ත වූයේ ත්‍යාග ප්‍රදානෝත්සවයක දී 4 වන පින්තූරයේ ඇති පරිදී උත්පලා ගුරුතුමිය සමඟ පින්තූරයක් ගැනීමටයි. එය මේ වසරේ (2023/11/22) දම්පල් ත්‍යාග ප්‍රදානෝත්සවයේ සේයාරුවකි. මා හට උත්පලා ගුරුතුමිය හමුවූ වසරේ පටන් ඉන්පසු ව තිබූ ත්‍යාග ප්‍රදානෝත්සව ද්විත්වය තුළම මම ඉතාමත් ආශා වූයේ වේදිකාව මත සිට උත්පලා ගුරුතුමිය සමඟ නිවේදන කණ්ඩායමේ සමූහ පින්තූරයක් හා තනි පින්තූරයක් ගැනීමට මෙන්ම, ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිවේදන කටයුතු කිරීමටයි.....එය මඟ හැරුණු නමුත් මා ධර්මපාල විද්‍යාලය තුළ සිටින සමයේ ත්‍යාග ලාභියෙකු ලෙස පමණක් ඒ සෑම ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහාම සහභාගි වී ඇත්තෙමි. නමුත් මම අදටත් ධර්මපාලේ ත්‍යාග ප්‍රදානෝත්සවයක උත්පලා ගුරුතුමිය සමඟ එකම එක වතාවක් හෝ නිවේදන කටයුතු කිරීමට කැමති ය. නමුත් එය යළි කිසි දිනක සිදු නොවන බව මම දනිමි. එහෙත් එම සිහිනයට මා ප්‍රියය. 🌻💕

මා නව පාසලකට ගිය පසු, මාගේ දිවියේ ප්‍රථම වරට මම පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයක නිවේදන කටයුතු සිදු කළෙමි. නමුත් එදින ධර්මපාලේ දී මෙන් මා ළඟ තනි නොතනියට සහ පිටුපසින් යෝධ සවියක් සේ උත්පලා මිස් භෞතික ව සිටියේ නැති වුවද ඈ සිත තුළ ජීවමාන වීය.

මෙහි ඇති 1,2,3 යන පින්තූර මා පසුගිය 2022 වසරේ අද වැනි දිනක ලබා ගත් පින්තූර වේ. එහි ඇති පළමු රූපයේ ඇති අකුරු සමස්ත දිනය ගැන පවසයි. එය, මා මලක් පමණක් ලද දිනකි. ඒ සැරසිලි වලට ගෙනා මලකි. 

එදින විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිවේදන කටයුතු කළේ මම ය. අලුත් පාසලක, නවකයෙකු වුවද, දැවැන්ත සහ පාසලේ වැදගත්ම උත්සවය වන ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිවේදන කටයුතු සාර්ථක ලෙස සිදු කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයකි. මාගේ කාර්‍යය අකුරට මැනවින් කළෙමි. එදින සෑම විටකම වේදිකාව මත මා හට සිහි වූයේ එලෙස මා තැනූ මාගේ ගුරු දේවෝත්තම උත්පලා ගුරුතුමියයි.......

ධර්මපාලේ සිටින කළ එලෙස සාර්ථකව යම් දෙයක් කළ පසු වේදිකාවෙන් බැස යන විට ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබේ. ඒවා ආදරණීය ය. සිතට දිරියකි. සැනසීමකි. නමුදු එදින මා ලද කිසිඳු පැසසුමක් හෝ සැබෑ ලෙස ආදරණීය සිනහ සංග්‍රහක් හෝ එසේත් නැත්නම් අඩුපාඩු දැක්වීමක් හෝ කිසිත් හෝ නොවුණි......පිරිස විසිර ගියහ. මම වේදිකාව පිටුපසට ගොස් හැඬුවෙමි. මට ධර්මපාලේ සිහි විය...වෙනදාට කුමක් හෝ සිදු කළ පසු උත්පලා ගුරුතුමිය බොහෝ දේ කියා දී අප තනන අයුරුත්, අගයන අයුරුත් මට මැවුණි....

නමුත් එදින ඒ කිසිත් නැත. ඒ තබා අඳුරන බොහෝ දෙන ද නොදුටුවා සේ තම තම කාර්‍රයයන් හී නියැලුණි.....ඒ බොහෝ අය එදින මා මඟ හැරියේද, මඟ හැරුණාද යැයි මම නොදනිමි......

එදා මා හට සිටියේ මාගේ ආදරණීය අක්කලා දෙදෙනා පමණි. ඔවුන් සමග මම 2 වන පින්තූරයේ පරිදී සේයාරුවක් ගතිමි.ඔවුන් මාගේ දුකෙහිදී ත් සැපෙහිදීත් ළඟ සිටින හද රැඳි සොයුරියන් ය......අක්කලා දෙදෙනා මගේම සොයුරියන් ය. ඔවුන් හැරුණු කොට මාගේ සිත සාදා ගැනීමට එදින කවුරුන් හෝ නොසිටියහ.....

අවසන මා මාගේ සිත සාදා ගැනීම පිණිස සැරසිලි වලට ගෙනා මල් දෙකක් ගත්තෙමි. එය මා විසින් මට දුන් මලකි......බොහෝ කැප කිරීම් කොට, වෙහෙස වී, එදින ඉතාමත් සාර්ථක ලෙස උත්සවයේ වැඩකටයුතු ඉතාම පරිපූර්ණ ලෙස නිමා කළේ වුවද මා සිතට සතුටක් නොවුණි. මම ගෙදර විත් හැඬුවෙමි....ඒ කඳුළු අතර වූයේ ධර්මපාලේ මතකය පමණි.....

එදින අඟහරුවාදා දිනයක් බැවින් එය, උත්පලා ගුරුතුමිය අපට පන්ති කළ දිනකි. එකල මා සහභාගි වූයේ මාර්ගගත පන්ති වලට පමණි. එදින ඇය මාගෙන් ප්‍රශ්නයක් ඇසුවාය. මම පිළිතුරු දීමට මයික්‍රපෝනය විවෘත කළේ නැත. මන්ද මම ඒ මොහොතේ ද බොහෝ වේලාවක් ඒ සවස හඬමිනි සිටි බැවිනි. මට මතක් වූයේ උත්පලා ගුරුතුමිය හා වේදිකාව මත ගෙවූ ඒ සුන්දර දින පමණි. අවසන මා මෙසේ ලීවෙමි, 

" මලක් පමණක් ලද දිනෙක,මලක් ලෙස පිපෙන්නට මට කියා දුන් ඇය,හෝරා දෙකකට හෝ හමුවීම කෙතරම් භාග්‍යකදැයි,තව බොහෝ වසර ගණනාවකටපසුව පවා මට සිහිවනු ඇත.....නමුත් එකල්හි ද මා අද මලක් පමණක් ලද්දේ ඇයි දැයි නොවැටහෙනු ඇත." 

එය "Diary pages with nothing to write" ලෙස නම් විය.....

සැබැවින්ම ඊට හේතු අදටත් මම නොදනිමි. නමුත් මා එදින සිතුවේ ඒ නව පාසලේ සංස්කෘතිකමය ලක්ෂණයක් කියා ය. නමුත් ඊට වසරකට පසු එවන්ම දිනයක මලක් හැර මෙලෙස තව බොහෝ දේ ලැබෙන දිනයක් පැමිණෙතැ'යි මම එදින නොසිතුවෙමි....

පසුගිය වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ මා නිවේදන කටයුතු සාර්ථක ව සිදු කළද ධර්මපාලේ සහ නව පාසල අතර වෙනස දැනීම මෙන්ම ධර්මපාලේ සහ උත්පලා ගුරුතුමිය සිහි වීම නිසා මම එදින බොහෝ සේ හැඬූ දුක පිරුණු දිනයක් විය. නමුත් එදින හීනියට යන්තමින් ඇඳුණු සතුටු රේඛාවක් ද විය. මන්ද යත්, උත්පලා ගුරුතුමිය මා හට පැවසූ පරිදී සෑම විටකම " සම්මා සතියෙන්'' හෙවත් එළඹ සිටි මනා සිහියෙන් හිඳ, සියලු කටයුතු ඈ ළඟ සිටියාක් මෙන් මම හොඳින් කළ බැවිනි. එදින සමස්ත ගෞරවයම එතුමිය වෙත හිමි විය යුතුය....කෙසේ වෙතත් රාත්‍රී පන්තියේදී හෝරා දෙකකට හෝ ගුරුතුමිය දක්නට ලැබීම මාගේ සිතට මහත් සැනසීමක්, අස්වැසිල්ලක් විය....පසුව මා සිත සාදා ගත් අතර මාගේ ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය විය....මිනිසුන් අගය කරන්නේ හෝ කතා බහ කරන්නේ සහතික ලබන විටදී පමණද? දක්ෂතා වලදී නොවේද ? යැයි මම නොදනිමි. නමුත් එසේ මට යන්තමින් මෙන් සිතුණි.

ඉන් වසරකට පසු යළිත් මා පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය ට අද සහභාගි වුණෙමි. (2023/11/24)

අද සිකුරාදා දිනකි. 

අඟහරුවාදා වී නම් මම උත්පලා ටීචව හා සර්ව මුණගැසීමට විනාඩි කිහිපයකට හෝ පන්තියට යාමට තිබුණි....

මා දැන් 13 වසරේ නිසාත් පාසලේ කටයුතු වලට 13 ළමුන් නොගන්නා නිසාත් අද ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිවේදන කටයුතු සිදු කළේ මම නොවේ. 

අද මා එහි යනු ලැබුවේ ත්‍යාග ලාභියෙකු ලෙසය. දෙමාපියන් ගෙන් එක් අයෙකුට පමණක් පැමිණීමට හැකි වූ නිසා අම්මාද මා සමඟ ආවාය. 

අද මා නිවේදන කටයුතු නොකළද, එදා උත්සවයේ දී මෙන් නොව බොහෝ අය මා හා කතා බහ කළහ. සිනාවකින් සංග්‍රහ කළහ. සේයා රූ ගත්හ, වැළඳගත්හ.සතුටින් කතා කළ අතර බොහෝ දේ විමසූහ. නොයෙක් ප්‍රතිචාර ඇගයුම්, පැසසුම් ලැබුණි. ඒ මන්දැයි මම නොදනිමි. ඔවුහු ප්‍රීතියෙන් සිටියහ...එ නිසාම මම සතුටින් සිටියෙමි. මුහුණේ පිපි සිනා මලකි. 

එදා මා හා සිටි අක්කලා දෙදෙනා ගෙන් එක් අයෙකු අද පැමිණ සිටියාය. ඒ මගේම අක්කාය. ඇය සරසවි වරම් ලබා ඇත. පසුගිය වසරේ දී මෙහි ඇති 2 වන පින්තූරය ගන්නා විට, මෙහි ඇති 6 වන පින්තූරය පරිදී සුදු පැහැ සාරියක් හැඳ මේ වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවය ට සහභාගි වීමට ලැබේ යැයි ඇය ඇතැම් විට නොසිතන්නට වුව ඇත. එමෙන්ම මම ද මේ වසරේ මා ත්‍යාග ලාභියකු වේ යැයි නොසිතුවෙමි. නමුත් කාලය විසින් විසල් වෙනසක් සිදු කර ඇත......💕💕

අද මම සැබෑ ලෙසම සිනාසී සතුටින් සිටියෙමි. අද දවස විශිෂ්ට දිනයකි. සිතට දැනුණු මතක රැසකි. පසුගිය වසරේ පින්තූරයක් හෝ නොගත් අය පවා මේ වසරේ මා හා පින්තූර ගත්හ.සිනාසී කතා කළහ. තොරතුරු විමසූහ. මමද චිත්ත ප්‍රීතියෙන් සිටියෙමි. මා හට ත්‍යාග ද්විත්වයක් ලැබුණි. ඒ තර්ක ශාස්ත්‍රය සඳහා සහ මාධ්‍ය අධ්‍යයනය සඳහාය. පසුගිය වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවය තිබූ දිනය හා අද දිනය අහසට පොළොව සේ වෙනස් වූ අයුරු මම තවම කල්පනා කරමි.අද බොහෝ දෙන මා වටා රැඳුණි.පැසසුම් ලැබුණි. සිනහ මල් පිපුණි..

අද මම සැරසිලි වලට ගෙනා මලක් ගෙන මා සිත ට නොදුන්නෙමි. මන්ද අද මාගේ සිත මල් යායක් මෙන් පිබිදී ඇති බැවිනි. ඒ, බොහෝ දෙන බොහෝ දේ කතා කළ නිසාත් අගය කළ නිසාත් ය. නමුදු කාරණා කෙසේ වුවද අද බොහෝ දේ නිසා මම බොහෝ සතුටට පත්ව සිටියෙමි......මේ සතුටේ හිමිකාරීත්වය සැබැවින්ම උත්පලා ගුරුතුමිය සතුය......අද පාසල තුළ හිඳ බොහෝ සේයාරූ රූපගත කළෙමු. එයද මහත් සතුටකි......

 


පාසල් දිවියේ අවසන් ත්‍යාග ප්‍රදානෝත්සවය ද, අද දිනෙන් නිමාවිය. පසුගිය වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවය හා මේ වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවය මට අමුත්තකි. ඒ ද්විත්වය බොහෝ දේ කියා දුන් උත්සව දෙකක් විය. 

නව පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිවේදන කටයුතු කිරීමට ලැබේයැයි මම එකල්හී නොසිතුවෙමි, නමුදු එය සැබෑ වුණි. එමෙන්ම මෙවර ත්‍යාග ලාභියෙකු වන්නට ලැබේ යැයි මම මින් පෙර කිසි දින නොසිතුවෙමි. අවසන එයද සැබෑ විය...... 

නොසිතුව දේ වේවි,

ඒවා හරි අපූරුය.

මම ඒ අපූර්වත්වය විඳිමි......

සැනසෙමි...

අද මට බොහෝ සෙයින් සතුටුදායක දිනයකි....♥💛 

ගිය වසරේ මා මටම මලක් දී මගේ සිත සාදා ගතිමි. අද මා මලක් ගත්තේ නැත්තේ, මලක සුන්දරත්වය ට එහා ගිය බොහෝ සතුටක් මට ලැබුණු බැවිනි....

සැබැවින්ම පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය වනාහී, එදත්, අදත්, හෙටත්, මා ප්‍රියතම පාසල් උත්සවයයි. ත්‍යාග ප්‍රදානෝත්සවය ට අමතරව මා ප්‍රියතම උත්සවය වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස් සමරු දිනයයි.......

පාසල් දිවියේ අවසන් ත්‍යාග ප්‍රදානෝත්සවය ද මෙසේ අවසන් වූ වගයි....


-2023/11/24-

✒️Se.Ka. ✨

#හරිලස්සනදවස්

#පුදුමයි

#PrizeGiving2023

#Proudmoments

#Happyclicks

#Media&Logic

#Proud

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !