එච්චරම..... ? ❤
සිතේ දුක් කවුරුවත්
ඇහුවෙ නැති හින්දාද ,
ඔය පපුව මේ තරම් ඉරිතලා තිබුණේ....
හඬන්නට වෙලාවක්
තිබුණෙ නැති හින්දාද
ඇහි පියන් කඳුළු කැට එක්කලම වැහුණේ......?
අත්දෙකට නිවීමක් ලැබුණෙ නැති හින්දාද
රළු වළං හුරු අතට අත් මේස් වැටුණේ?...
රිදෙන තැන් රිදි රිදී
දරා ගත් හින්දාද,
රිදුම් පිරිමැදූ අත් සීතලව තිබුණේ...
මෙතෙක් කල් ඇස් අඳුන් බඳුන් හිස්
හින්දාද ,
නිදිවැරූ ඇස් තවම කලු වෙලා තිබුණේ...
අහිංසක හිත් අහස
ආස නැති හින්දාද
වෙනද වාගෙම අදත්
ගෙල පාලු වූයේ...
ලෙඩ දුකට බේතකට
කාසි නැති හින්දාද,
මාස ගණනක් ඔහේ
අමතකව හැරියේ....
කාන්සිය මහන්සිය
දැනුණෙ නැති හින්දාද,
දවස තිස්සෙම දෙපා
හිටගෙනම හිටියේ,
ඉසිඹුවක් නැති පයට
වෙහෙස වැඩි හින්දාද
වැතිරිලා නොසෙල්වී,
අද මෙහෙම ඉන්නේ...
කෙදිනවත් ආස දේ ඇන්ඳෙ නැති හින්දාද
අවර්ණිත සුදු සේල ගතේ දැවටූයේ ...
අහිමිවීම ම හිමිව
කල් ගෙවූ හින්දාද ,
ආදරෙන් ලෝකයම ගෙනල්ලා දුන්නේ?...
ඝණ ලෙයින් කිරි පෙරා දුන්න ළය මැද්දෙම ද ,
එච්චර ම දුක් ගොඩක් හැංගිලා තිබුණේ....?
22/11/20

Comments
Post a Comment
Comments ?