ළැම බරව ණය කිරෙන්
🏴🇱🇰🏳️ .....
නෙක නෙක කලට රඟමඬලේ රැගුමන් ය...
තිර පිටපත ට මැතිසබයේ නළුවන් ය....
වහලුන් දරන නිෂ්පාදන වියදම් ය...
නරඹන දනා අසරණ රට වැසියන් ය.....
දියසෙන් නමින් කුමරෙකු රඟ දක්වාලා ,
ජාතිවාදෙ නාටකයක් පෙන්වාලා...
සිහල බොදු දනෝ නෙක උසි ගන්වාලා,
හැට නව ලස්සෙ පඹයෙක් සබයට තියලා...
ගත්තේ ටිකට් සිංහබාහු නරඹන්ට...
එනමුත් බලන්නේ අන්දරෙ සැම එකට...
කියත් මගක ගම හා කයියත් එක්ක...
හොඳටම කළා කිව්වා කවුදෝ පෙරක...
ගුරු ගොවි කම්කරු ද සටනේ නිරත වුණී...
සඟවෙද ඇතැම් දන අඳගොළු බිහිරි වුණී..
බඩු මිල ගොසින් ඉහළට තව තරුද පෙනී..
ගහෙන් වැටුණු මිනිහට ගොන් ඇන්න වැනී
ගුරු තරු වැටුප් ඉල්ලා බෝ දුක් විදිතී...
ගොවියා පොහොර යදිමින් පාරට බසිතී...
කෝවිඩ් වසන්තේ රැළි පිට රැළි වැඩෙතී...
බේබිල රේස් පථ මැද නෙක ජොලි කරතී....
ඇමතිල කිසිත් නොදනී නිදි සුව විදිතී...
අධිපති සමාගම් ජය පැන් බී නටතී....
රට රට වලින් මෙරටට පහරාම යතී...
අතකොළු වලින් මිරිකී ජනයෝ නැසෙතී....
දත්තත් මැකී මුත් නොදනී අම්බරුවෝ...
නැව් එයි විස පිරී නොදනී ගොං තඩියෝ....
නීතිය නැවී මුත් නොදනී රටවැසියෝ ....
හංසය කපුටො වටකොට විගඩම් නැටුවෝ.....
හැත්තෑ තුන් වසක් මව් හපකර දැමුවා....
කවුරුත් එකයි කොයි පාටත් වින කෙරුවා
අනුවණ දනෝ එක්වී පිස්සුම කෙරුවා...
වළපල්ලට ම ඒ රට පියමං කෙරුවා....
නීතිය නොමැත අවනීතිය රජ කරනා...
සාමය නොමැත යටිනුත් ගින්දර දිවෙනා...
සතුටක් නොමැත පුරවැසි දන කළකිරුණා.
අමුතුම රටක් සයුරක් මැද කල් ගෙවනා...
වෙන වින්නැහියෙ දිග පළලක් නොම පෙනුණී....
මුළු රට එකම පඹගාලක පටලැවුණී...
ඩේටත් නැති ළමෝ අසරණ වී පෙළුණී....
හෙට දින අදුරු මුත් මන්දිර බබළැවුණී...
රජෙකැයි කියා හිසළූවත් කිරුළු මිණි....
කළ රජකමක් නම් නැත දෙවසර පිරුණී...
මැක්කෝ රැළක් මී හරකගෙ ලේ උරතී...
නැට්ටක් නැතිවදෝ ඌ ඒ මේ අත වැනුනී...
සඟ ගණ ගොසින් යුක්තියෙ දෙවඟන ළඟට....
වදනා ලෙසට එක් නීතිය මුළු රටට....
නීතියෙ දෑස් වසනා රතු සාටක ය...
මේ හැම කෙරෙන්නේ හරි අමුතුම රටක....
පිස්සෝ කලබලව කට මැත බෝ දොඩතී...
කැමරා අරන් උඩ බලමින් තුඃ ගාතී*....
අධිකරණය ට සිවුරේ කොණකුත් වැදුනී....
අබරණ විලස දන යදමින් සැරසෙන්නී....
දැල ලන ලෙසින් තෝරා වැද්දා වටුවෝ...
අහෝ අහෝ කියමින් බෝ කෑ ගැසුවෝ ....
කවුරුත් එකයි ඔය ඔක්කොම හොර හතුරෝ....
තේරුණු දනා රට හැර පියමං කෙරුවෝ.....
සාර පසක් බත බුලතින් සරුව ඇතී...
නීල මුහුද රට වටකොට බෝම ඇතී....
අව් වැසි කලට, රූ සිරියෙද අඩුව නැතී....
එහෙව් රටක ණය රස ළැම කිරෙත් වුණී...
- Semini kavindya Danthanarayana
Dvp - 2021/ 10/ 30
Comments
Post a Comment
Comments ?